ඔබ කැමති දේ වෙනුවට කල යුතු දේ තෝරා ගන්න.

සාම්ප්‍රදායික අභිප්‍රේරණය ඇතුළේ නිතරම අහන්න ලැබෙන උපදෙසක් තමයි, "ඔබ කැමති දේ කරන්න. ඔබ ආස කරන දෙයක් රැකියාව කරගන්න. එතකොට ජීවිත කාලය පුරාම වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ" කියන එක.
මේක ඇහෙනකොට හරිම ලස්සන අදහසක්. හරියට ජීවිතේ සාර්ථකත්වයට තියෙන රහස් දොරටුව හොයාගත්තා වගේ හැඟීමක් ඇති වෙනවා. හැබැයි මම ඔබට කියන්නේ මේ උපදෙස ගැන දෙපාරක් හිතන්න කියලා.
මොකද ඔබ කැමති දේ කිරීමයි, ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමයි කියන්නේ එකම දෙයක් නෙමෙයි.
මේක හොඳට තේරුම් ගන්න.
ඔබ පොඩි කාලේ ඉඳලාම චිත්‍ර අඳින්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. සින්දු කියන්න, ක්‍රිකට් ගහන්න, සංචාරය කරන්න, වීඩියෝ ගේම්ස් ගහන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ දේවල්වලට කැමතියි කියන එකෙන් ඒවා ඔබේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් වෘත්තියක් බවට පත් වෙනවා කියන එක අදහස් වෙන්නේ නෑ.
ඔබ ක්‍රිකට්වලට කැමති නම්, ඒකෙන් අදහස් වෙන්නේ ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න සුදුසුයි කියන එක නෙමෙයි. ඔබ සින්දු කියන්න කැමති නම්, ඒකෙන් අදහස් වෙන්නේ සංගීතයෙන් ඔබට ජීවත් වෙන්න පුළුවන් කියන එක නෙමෙයි.
කැමැත්ත කියන්නේ ආරම්භයක් විතරයි. සාර්ථකත්වයට තවත් බොහෝ දේවල් අවශ්‍යයි.
අපි තවත් පැත්තකින් මේක බලමු.
ඔබ අද කරන රැකියාවට ඔබ එතරම් කැමති නැති වෙන්න පුළුවන්. උදේ නැගිටලා වැඩට යන්නත් සමහර දවස්වල කම්මැළි ඇති. හැබැයි ඒ රැකියාවෙන් ඔබට හොඳ ආදායමක් ලැබෙනවා. පවුලේ වගකීම් ඉටු කරන්න පුළුවන්. අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කරන්න පුළුවන්.
දැන් හිතන්න, ඔබ අභිප්රේරකයෙකුගේ උපදෙස අහලා මේ රැකියාව අතහැරලා, ඔබ ආස කරන දෙයක් කරන්න පටන් ගන්නවා කියලා. මුල් දවස්වල ඒක හරිම සුන්දර අත්දැකීමක් වෙයි. තමන් කැමති දෙයක් කරනවා කියන සතුට තියෙයි. නිදහසක් දැනෙයි.
හැබැයි මාස කිහිපයකට පස්සේ ආදායමක් නැති වෙන්න පටන් ගත්තොත්?
ගෙදර වියදම්, ණය වාරික, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් අවශ්‍ය වුණොත්?
එදාට ඔබ ආස කරපු දේම ඔබට මානසික පීඩනයක් ඇති කරන දෙයක් බවට පත් වෙන්න පුළුවන්.
මෙතැනදී මම ඔබට කියන්න උත්සාහ කරන්නේ ඔබ කැමති දේවල් කරන්න එපා කියන එක නෙමෙයි.
මම කියන්නේ කැමැත්ත මත පමණක් ජීවිතයේ වැදගත් තීරණ ගන්න එපා කියන එකයි.
තවත් වැදගත් දෙයක් තියෙනවා.
ඔබ අද කැමති දේම අවුරුදු දහයකට පස්සේ ඔබ කැමති දේ වෙයි කියලා සහතිකයක් නෑ.
අද ඔබට සංචාරය කරන්න ආසයි. හැම මාසයකම රටකට යන්න හිතෙනවා. හැබැයි අවුරුදු දහයකට පස්සේ ඔබට තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගන්න, දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න, නැත්නම් වෙනත් දෙයක් කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්.
අපේ කැමැත්ත වෙනස් වෙනවා. අපේ අවශ්‍යතා වෙනස් වෙනවා. ජීවිතයේ ප්‍රමුඛතා වෙනස් වෙනවා.
ඒ නිසා අද තියෙන කැමැත්ත වෙනුවෙන් මුළු අනාගතයම තීරණය කිරීම නුවණට හුරු දෙයක් නෙමෙයි.
මම ඔබට යෝජනා කරන්නේ වෙනස් දෙයක්.
ඔබ කැමති දේවල් අත්හදා බලන්න. ඒවාට දක්ෂතාවයක් ගොඩනගා ගන්න. ඒ දක්ෂතාවයට වෙළඳපොළේ වටිනාකමක් ඇති කරගන්න. ඒ අතරතුර ඔබේ ආර්ථික ස්ථාවරත්වයත් ගොඩනගා ගන්න.
ඔබට අවශ්‍ය වෙන්නේ කැමති දේ කරන්න පුළුවන් ජීවිතයක් විතරක් නෙමෙයි. ඔබ කැමති දේ කරන්න තෝරාගැනීමේ නිදහස තියෙන ජීවිතයක්.
මොකද හරි පදනමක් නැතිව තමන් කැමති දේ කරන්න තෝරා ගැනීමයි, ආර්ථික නිදහසක් තියෙන නිසා තමන් කැමති දේ කරන්න තෝරාගැනීමයි කියන්නේ අත්දැකීම් දෙකක්. ඒ දෙක අතර විශාල වෙනසක් තියෙනවා.
ඒ නිසා "ඔබ කැමති දේ කරන්න" කියන උපදෙසට වඩා මම ඔබට කියන්නේ,
ඔබට කැමති දේ කරන්න පුළුවන් තැනට ඔබේ ජීවිතය ගොඩනගා ගන්න කියලා.
කැමැත්ත වෙනුවෙන් වගකීම් අතහරින්න එපා. අද තියෙන සතුට වෙනුවෙන් හෙට දවසේ නිදහස නැති කරගන්නත් එපා.
අවසානයේදී සාර්ථකත්වය කියන්නේ ඔබ කැමතිම රැකියාව කිරීම නෙමෙයි. ඔබට අවශ්‍ය ජීවිතය ගත කරන්න අවශ්‍ය හැකියාව, ආර්ථික ශක්තිය සහ නිදහස ගොඩනගා ගැනීමයි.
ඒ නිසා ඔබේ සිහින පස්සේ යන්න. හැබැයි ඒ සිහින සැබෑ කරගන්න යන ගමනේදී ඔබේ ජීවිතයේ යථාර්ථය අමතක කරන්න එපා.
සටහන : 𝗖𝗵𝗮𝘁𝗵𝘂𝘀𝗸𝗮 𝗔𝗺𝗮𝗿𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮
(𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 & 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒊𝒕𝒚 𝑫𝒆𝒗𝒆𝒍𝒐𝒑𝒎𝒆𝒏𝒕 𝑨𝒅𝒗𝒊𝒔𝒐𝒓)





Thank you