top of page

ඔබේ Start-up එක ස්ථාවර හා දියුණුවෙන ව්‍යාපාරයක් කරන හැටි. (5 Steps)

Updated: Oct 1


ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී, තමන් පටන් ගන්න මූලික අවදියේ සිටම ව්‍යාපාරය දියුණු කරන්න සහ ස්ථාවරව පවත්වාගෙන යන්න පහසු ආකාරයෙන් ආකෘති ගත කරන එක, එහෙම තැත්නම් Structure කරන එක ඉතාමත් වැදගත් දෙයක්.


නමුත් බොහෝමයක් Startup වල අපිට මේ තත්වය දකින්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ වෙනුවට අලුතින් පටන් ගන්න ව්‍යාපාර බොහෝමයක් කරන්නේ, ආදායම් ඉපයීම කියන දේ ප්‍රතම හා ප්‍රමුඛතම අරමුණ කරගෙන වැඩ කරන එක.


ඒකත් එක්ක ඔවුන් බොහෝ වෙලාවට කාලයක් ව්‍යාපාර කටයුතු කරගෙන ගියත්, ව්‍යාපාරය ප්‍රමාණවත් මට්ටමකින් දියුණු වෙන්නේ නැති, ඒවගේම ස්ථාවර වෙන්නේ නැති ස්වභාවයක් අත් විදිනවා. ඒ නිසා මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ, තමන්ගේ ව්‍යාපාරය, ස්ථාවර හා දියුණු වෙන ව්‍යාපාරයක් කරගන්න නම්, ඔබ මූලිඛ මට්ටමේදීම එය ස්ථාවර කරන්න ඕනේ විදිහ ගැන.


මේ දේවල් ටික පටන් ගන්න දවසේ ඉදලම ඔබ කලොත්, ඔබේ ව්‍යාපාරය ලේසියෙන් වැටෙන්නේ නැති, ඒ වගේම නිරන්තරයෙන් දියුණු වෙන ව්‍යාපාරයක් කරගන්න එක ඉතාම පහසුයි.


01. තමන්ට හොඳටම කරන්න පුළුවන් දෙයක්, අලෙවි කිරීමෙන් පටන් ගන්න.

ව්‍යාපාරයක් ගැන හිතනකොට ගොඩක් අය කරන පලවෙනි වැරැද්ද තමයි, වැඩියෙන් ආදායම් හා ලාභ ලබන්න පුලුවන් දෙයක් තෝරගන්න උත්සහ කරන එක. නමුත් මම ඔබට කියන්නේ එහෙම කරනවා වෙනුවට මුලින්ම ඔබට හොදටම කරන්න පුළුවන් දේට Focus කරන්න කියලා.


උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ කෝකියෙක් කියලා, ඒ වගේම ඔබ ආහාර අලෙවිසැලක් ව්‍යාපරය විදිහට කරනවා කියලා. එහෙම නම් මම ඔබට කියන්නේ, වැඩියෙන් අලෙවිකරන්න පුළුවන් සහ වැඩියෙන් ලාභ උපයන්න පුළුවන් කෑම වර්ග ගැන හිතනවා වෙනුවට, ඔබට හොදටම හදන්න පුළුවන් කෑම වර්ගයක් ගැන හිතන්න කියන එක.


මොකද එතකොට ඔබට පුලුවන්, එක දෙයක් ඇතුලේ හරි විශේෂත්වයක් ගොඩනගා ගන්න. ඒ හරහා ඔබට පුළුවන් තෘප්තිමත් නැවත නැවත එන පාරිබෝගික කන්ඩායමක් ගොඩනගා ගන්න.


උදා : KFC අවන්හල් ජාලය තුල Signature Dish එක ලෙස Crispy Chicken ඔවුන් අලෙවි කරයි, එය ඔවුන්ගේ හොදම නිශ්පාදනයයි. ඔවුන්ට හොදින්ම කල හැකි දෙයයි, එය තුල ඔවුන් විශේෂත්වය ගොඩනගයි, නමුත් එය පදනම ලෙස පවත්වාගෙන ඔවුන් තවත් බොහෝ දේ අලෙවි කරයි.

02. 1/4 Profit සංකල්පය මත සැලසුම් කරන්න

සෑම විටම ව්‍යාපාරය තුල ඔබ ලබන ආදායමෙන්, ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යාමේ පිරිවැය අඩුකල පසු අවසානයේ ආදායමෙන් 25% වත් ලාභ ලෙස ඉතිරි වෙන තත්වයක් මුල සිටම නිර්මාණය කරන්න.


මෙම තත්වය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කාරනයක් ලෙස සලකා, පිරිවැය පාලනය හා මිලගනන් තීරණය කිරීම සිදු කරන්න. ප්‍රායෝගිකව ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී සෑම විටම 25%ක් ලාභ කිරීම කල නොහැකි විය හැකි වුනත්, එය ඔබේ ව්‍යාපාරයේ ප්‍රමිතියක් ලෙස පැවැතීම, සෑම විටම ඔබේ ව්‍යාපාරය තුල ප්‍රාග්ධනය නිර්මාණය වන ආකාරයෙන් පවත්වාගෙන යාමට උත්තේජනයක් සපයනවා.


ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනය නිර්මානය වීම සෑම විටම ව්‍යාපාරයේ පැවැත්ම හා දියුණුව තීරණය කරන සාධකයක් බවට පත්වෙනවා.

03. අවංක මිනිස්සු එක්ක වැඩ කරන එක නතර කරන්න.

Startup Level එකේ ව්‍යාපාර තුල නිරන්තරයෙන්ම භාවිතා වෙන වචනයක් තමයි, අවංක කම කියන එක. අවංක මිනිස්සු, අවංක සේවකයෝ එක්ක වැඩ කරන්න ඕනේ කියන අදහස Startup කරන අය ගොඩක් විශ්වාස කරනවා.


නමුත් මේක වැරැදි අදහසක්, ව්‍යාපාරයක් කරනවානම්, මුල සිටම ඔබට අවංක නැති මිනිස්සු එක්ක වැඩකරන්න වෙන බව දැනගන්න. අවංක මිනිස්සු ඕනේ කියන අදහස හිතිං අයින් කරලා, වැරැදි කරන්න බැරි පරිසරයක් ගැන හිතන්න.


අවංක නොවන කෙනෙක්ට වුනත්, වැරැදි කරන්න බැරි විදිහේ, Internal Control එකක් ගැන මුල ඉදලාම හිතන්න. හොද මිනිස්සු වෙනුවට හොඳ System එකක් හදන එකට Focus කරන්න.

04. යාවත්කාලීන වීමේ සංස්කෘතියක් ඇතිකර ගන්න

සෑම විටම අලුත් වෙන, අලුත් දේ අත් හදා බලන, අලුත් අදහස් වලට වටිනාකමක් ලබා දෙන සංස්කෘතියක් ආරම්භයේ සිටම නිර්මාණය කරන්න.


ආයතනයේ සිටින පහලම මට්ටමේ සේවකයකුට වුනත් අලුත් අදහසක් ගැන නිදහසේ මෙහෙයවන්නන් සමග කතා කල හැකි තත්වයක් (සංකෘතියක්) නිර්මාණය කරන්න.


දියුණුව හා ස්ථාවරත්වය නිරන්තරයෙන්ම ඔබට වෙනස් වීමට හා අලුත් වීමට ඇති හැකියාව මත තීරණය වෙනවා. Nokia වැනි කාලයක් ලෝකයේ අංක 1 මට්ටමේ සිටි ආයතනය පවා දියුණු නොවන ආයතන වෙමින් අන්තිම අඩියටම කඩා වැටුනේ, යාවත්කාලීන වීමට ඉඩක් වෙන්කිරීම මග හැරීම නිසායි.

05. SQS Prioritize කරන්න

SQS කියන්නේ Speed, Quality, Satisfaction කියන එක. මුල සිටම ඔබේ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය, වේගවත්ව (Speed), හොද තත්වයකින් (Quality) සහ තෘප්තියකින් (Satisfaction) පවත්වාගත හැකි එකක් බවට පත් කරන්න.


සරලව කිව්වොත්, ආයතනයේ වැඩකරන සේවකයෙකුට තමන්ගේ වැඩකටයුතු වේගයෙන් හා පහසුවෙන්, ඒ වගේම හොඳ තත්වයකින් යුතුව, තෘප්තිමත්ව කල හැකි තත්වයක් නිර්මාණය කරන්න.


ඒ හරහා පාරිබෝගිකයාටත්, වේගවත්, ප්‍රමිතියක් සහිත තෘප්තිමත් සේවාවක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. සේවකයන් හා පාරිබෝගිකයන් මේ තත්වයෙන් පවත්වාගෙන යාම දියුණුව හා පැවැත්ම වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා.


සටහන,

චතුස්ක අමරසේකර

(ව්‍යවසායක, ඵලදායීතා සංවර්ධන හා ව්‍යාපාර උපදේශක)


 

මෙම ලිපිය රචකයාගේ නම සදහන් කිරීම හා මෙම මුල් ලිපියේ සබැදිය (Website Link) සදහන් කිරීම සහිතව උපුටා ගැනීම හා ඵල කිරීම සිදුකල හැක. නමුත් භාන්ඩ හා සේවා ප්‍රවර්ධනයට අදාල මෙවලමක් ලෙස වානිජමය අරමුණින් යොදා ගැනීම සපුරා තහනම් වේ.


චතුස්ක අමරසේකර මහතාගේ ලිපි හා වීඩියෝ මග හැරගන්නේ නැතුව ඍජුවම ඔබේ Whatsapp අංකයට ලබා ගන්න INFO ලෙස සදහන් කල පණිවිඩයක් 076 970 5622 අංකයට WhatsApp හරහා යොමු කරන්න.



153 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page