top of page

👑 සල්ලි රහස් 09 - මුදලින් මනින්න බැරි මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව.

Updated: Jan 16, 2023



මූල්‍යමය ස්ථාවර බව, නිදහස් බව කියන අදහස් දෙක අපි බොහෝ දෙනෙක් නිර්වචනය කරගෙන තියෙන්නේ, ආදායම හෝ අප සතුවන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව අපිට ලැබෙන දෙයක් විදිහට.


අපි බොහෝ දෙනෙක් හිතනවා, යම් පුද්ගලයෙක්ට ඉතා ඉහල ආදායමක් ලැබෙනවානම් ඔහු හෝ සතුව විශාල මූල්‍යමය වත්කම් ප්‍රමාණයක් තියෙනවානම්, ඔහු හෝ ඇය, මූල්‍යමය අතින් ස්ථාවර හෝ නිදහස් පුද්ගලයෙක් කියලා.


උදාහරණයක් විදිහට, කාට හරි මාසයකට මිලියන ගනනක ආදායම්ක් ලැබෙනවානම්, අපි බොහෝ වෙලාවට හිතනවා ඒ පුද්ගලයා මූල්‍යමය අතින් සාර්ථක, ස්ථාවර, ඇතැම් විට නිදහස් පුද්ගලයෙක් කියලා.


නමුත් මේක බොහෝ සාමාන්‍ය මිනිසුන්ගේ අදහස වුනාට, මේක අපි අපේ මනසෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගත යුතු අදහස් ලෙස තමයි, අපිට "මුදල්" කියන විශයේදී ඉගෙන ගන්න වෙන්නේ.


ඒකට හේතුව තමයි, කිසිම වෙලාවක විශාල ආදායමක් ලැබුවාට, ඒ වගේම විශාල මූල්‍ය වත්කම් ප්‍රමාණයක් තිබුනාට, ඒ පුද්ගලයා මූල්‍යමය අතින් ස්ථාවර හෝ නිදහස් පුද්ගලයෙක්ද නැද්ද කියන දේ අපිට කියන්න නොහැකි වීම.


මූල්‍යමය ස්ථාවර බව සහ නිදහස් බව කියන දෙකම මනින්නේ මුදල් වලින් නෙමේ, මේ දෙකම "කාලයට" සාපේක්ෂව මනින තත්වයන් දෙකක්!


දැන් ඔබ බලයි ඒ මොකක්ද ඒ කිව්වේ කියලා...


නමුත්, ඒක තමයි ඇත්ත... සාමාන්‍ය මිනිස්සු, මුදල් ප්‍රමාණයකට, ආදායම් මට්ටමකට සාපේක්ෂව මූල්‍යමය නිදහස් බව හෝ ස්ථාවර බව ගැන අදහස් ඇති කරගත්තාට. ඒක එහෙම මනින්න පුලුවන් දෙයක් නෙමේ.


ඒ අදහස ඇත්තටම මුදල් ගැන කිසිම දෙයක් නොදන්න මිනිසුන්ගේ සරල අදහස් විතරයි..


මූල්‍යමය ස්ථාවර බව සහ නිදහස් බව කාලයෙන් මනින හැටි


මූල්‍යමය ස්ථාවර බව හෝ නිදහස් බව කාලයෙන් මැනීම කියන්නේ මෙන්න මෙහෙම දෙයකට,


මූල්‍යමය ස්ථාවර බව කියන්නේ, ඔබට අවශ්‍යකරන මූලිඛ තත්වයන් තෘප්තිමත් කර ගනිමින්, කොතරම් කාලයක්, ඔබේ මූල්‍ය වත්කම් හා ආදායම් වලට සාපේක්ෂව ජීවත් විය හැකිද කියන එක.


උදාහරණයක් විදිහට අපි හිතමු කෙනෙක් ගාව මිලියන 1.2 ක් තියෙනවා කියලා. ඒ වගේම ඔහුට තමන්ගේ මූලික තත්වයන් තෘප්තිමත් කරගන්න රු 100000ක් මාසයකට ඕනේ කියලා හිතමු.


මෙන්න මෙතැනදී, ඔහුට වෙන ආදායම් මුකුත් ලැබෙන්නේ නැත්නම්, ඔහුගේ මූල්‍යමය ස්ථාවර බව මාස 12ක් ලෙස අපිට දල වශයෙන් ගනන් හදන්න පුලුවන්.


මේක ඉතාම නිවැරැදි ගනනය කිරීමක් නෙමේ, මොකද උද්දමනය වගේ හේතු එක්ක, අපිට හැම මාසයකම රු 100000 මට්ටමේම ඔහුට වැය කරන්න වෙන මුදල තියෙනවා කියලා අපිට හිතන්න බෑ. නමුත් සරලව මේ අදහස තේරුම් ගන්න, අපිට මේ වගේ ගනනය කිරීමක් කරන්න පුලුවන්.


මීට අමතරව,


මූල්‍යමය නිදහස් බව කියන්නේ, ඔබට හිතෙන ඕනෑම දෙයක් කරමින්, කොතරම් කාලයක්, ඔබේ මූල්‍ය වත්කම් හා ආදායම් වලට සාපේක්ෂව ජීවත් විය හැකිද කියන එක.


මේ නිසා, මේ මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව කියන දේට, මිනිසුන්ගේ තියෙන අපේක්ෂාවන්ගේ මට්ටමත් බලපානවා.


මොකද ඔබ බිලියන ගනනක් ඉපයූවත්, ඔබේ අපේක්ෂා මට්ටම ඉතාම ඉහල නම්, එතැනදී ඔබේ මූල්‍යමය ස්ථාවර බව හෝ නිදහස් බව අඩු වෙන්න පුලුවන්.


ඒ වගේම යම් කෙනෙක් සුලු මුදලක් ඉපයූවත්, ඔහුගේ අපේක්ෂා මට්ටම ඉතා පහල නම්, එතැනදී ඒ පුද්ගලයාගේ මූල්‍යමය ස්ථාවර බව හෝ නිදහස් බව ඉතා ඉහල මට්ටමක තියෙන්නත් පුලුවන්.


ඒ කියන්නේ සරලවම කිව්වොත්, බිලියනපතියන්ට වඩා මූල්‍යමය අතින් ස්ථාවර හෝ නිදහස් මිලියනපතියන් ඉන්න පුලුවන්...


ඒ නිසා මේ අදහස් හොදින් ඔලුවට දා ගන්න, මොකද මේ අදහස ඔබේ ඔලුවේ තියෙන එක, ඉදිරි පාඩම් වලදී ඉතාම වැදගත් වෙනවා.


අපි මීලග පාඩමෙන් , මූල්‍යමය සාර්ථකත්වය හා නිදහස් බවට අදාලව තවත් වැදගත් කොටස් කීපයක් සාකච්චා කරමු!




47 views

Comentarios

Obtuvo 0 de 5 estrellas.
Aún no hay calificaciones

Agrega una calificación
bottom of page