කලින් පාඩමේදී අපි සදහන් කලා, යම් විදිහකින් වෙලාව කියන දේ ගරු කිරීම වෙනුවෙන් භාවිතා කරන අවස්ථාවක එය අසාර්ථක වුනොත්, ඒ තත්වය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන දේ ගැන. එතැනදි අපි ඒ වෙනුවෙන් වන නිශ්චිත පියවර 3ක් ගැන ඔබව දැනුවත් කලා. ඒ වගේම අපි සදහන් කලා මේ වගේ අවස්ථා වල බොහෝ දෙනෙක් කරන නමුත් කිසි ලෙසකින්වත් ඔබ නොකල යුතු දේවල් තිබෙන බවත්, ඒ කොටස මේ පාඩමෙන් ආවරණය කරන බවත්. ඒ නිසා මේ පාඩමෙන්, ඒ මොනවාද කියන දේ ගැන ඉගෙන ගනිමු,
1. අවස්ථාවට වරද පැටවීම
බොහෝ දෙනෙක් තමන් අතින් යම් ප්‍රමාදයක් සිදු වුනොත්, බහුලව සිදු කරන එක දෙයක් තමයි, එම තත්වයට චෝදනා කිරීම. මෙහි අදහස තමන් එවැනි දේ කරන්න එපා කියන එක.
සරලවම කීවොත්. උදාහරණයක් ලෙස අපි හිතමු ඔබ යම් හමුවකට යන්න ප්‍රමාද වුනේ, මාර්ග තදබදයක් නිසා කියලා.
එතැනදී ඔබ ඒ ප්‍රමාදය ගැන අනිත් පාර්ෂවයට දැනුවත් කරනවානම්, එතැනදී " මම කලින් ආවා, ඒත් මේ මාර්ග තදබදය නිසා හිර වෙලා මග ඉන්නේ, දැන් පැය ගනනක් වෙනවා" කියලා චෝදනාත්මක ආකාරයෙන් මාර්ග තදබදයට වරද පටවලා කතා කරනවානම් ඒ දේ කිසිම වෙලාවක කරන්න එපා කියන එක තමයි මේ කියන්නේ. මොකද එය වගකීම් විරහිත පුද්ගලයෙක් බවට වන හැගීමක් අනිත් පාර්ෂවය තුල ඇති කරනවා.
එය සිත් දිනා ගැනීමේදී ඔබට අවාසියක්.
ඒ නිසා හැම වෙලාවෙදිම එය ඔබේ වරදක් ලෙස පිලිගන්න. උදාහරණයක් ලෙස මාර්ග තදබදයක් ඇති බව නොදැනීම ඔබේ වරදක් යයි සිතා කතා කරන්න.
2. කල් ඇතිව දැනුම් දීම් සිදු කරන්න
බොහෝ දෙනෙක් සිදු කරන දෙවැනි වරද තමයි, නියමිත වෙලාවට මිනිත්තු කීපයක් තියලා ප්‍රමාද වෙන බව දැනුවත් කිරීම. එවැනි අවස්ථාවක ඔබ දැනුවත් කලත් එයින් ඔබට විශේෂ වාසියක් ඔබට නොලැබෙන්න තියෙන අවස්ථාව ඉතාම වැඩියි.
ඒ නිසා අනිත් පාර්ෂවයට ප්‍රමාද නිසා ඇතිවෙන තත්වයන් කළමණාකරණය කරගැනීමට අවශ්‍ය තීරණ ගන්න ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් අදාල දැනුවත් කිරීම් සිදු කිරීම ඉතාම වැදගත්.
3. තමන්ගේ රාජකාරිය වැදගත් බව සිතා කතා කිරීම
යම් ප්‍රමාදයක් ඇති වූ විට, ඒ හමුවීම වඩා වැදගත් යන හැගීමෙන් යුතුව කතා කරන්න යන්න එපා කියන එක තමයි මෙහි අදහස.
උදාහරණයක් ලෙස අපි හිතමු, ඔබ යම් හමුවකට මිනිත්තු 10ක් ප්‍රමාද වෙන බවට අනිත් පාර්ෂවයට දැනුම් දෙනවා කියලා. එතැනදී, එය දැනුවත් කරන්නේ ඒ මිනිත්තු 10 ප්‍රමාද වීම අනිත් පාර්ශවය ඉවසිය යුතුයි, කියන හැගීමෙන් නම්, එය ඔබ විසින් කරන විශාල වරදක්.
ඒ නිසා ඔබ සෑම විටම, අනිත් පාර්ෂවයට මීට වඩා වැදගත් වැඩ තිබිය හැකි බවත්, මෙම මිනිත්තු 10ක ප්‍රමාදය නිසා ඒ වැදගත් වැඩ වලට ගැටලුවක් විය හැකි බවත් සලකමින්, සන්නිවේදනය කිරීම ඔබ කල යුතු වෙනවා.
මෙම අවස්ථා තුන ප්‍රායෝගිකව තේරුම් ගැනීමට, ඔබ හිතන්න ඔබ යොදාගත් හමුවකට අනිත් පාර්ෂවය ප්‍රමාද වී පැමිනෙන බව දන්වන දුරකතන ඇමතුක් ගැන...
එතැනදී,
" මම කලින් ආවා, කොහෙද මේ Traffic එකත් එක්ක මුකුත් කරන්න බෑනේ. මට පොඩි වෙලාවක් දෙන්න මම ඉක්මනට එනවා " ලෙස ඔබ යොදාගත් වෙලාවට මිනිත්තු කීපයක් තියා දැනුම් දීමක් ලැබුනොත්, එම අවස්ථාවේදී ඔබට ඇතිවන හැගීම ගැන අවදානය යොමු කරන්න.
ඒ වගේම,
" මම හිතපු නැති විදිහට, පුංචි Traffic එකක් තියෙනවා, මම හිතන්නේ මට විනාඩි 10ක් විතර වැඩිපුර යයි එන්න. සමාවෙලා, විනාඩි 10 දෙන්න පුලුවන්ද? මම පුළුවන් තරම් ඉක්මනින් එන්න උත්සාහ කරනවා "
යනුවෙන් හමුවට මිනිත්තු 20ක් තියලා ලැබෙන දැනුවත් කිරීමකදී ඔබට දැනෙන හැගීම ගැන අවදානය යොමු කරන්න.
නියත වශයෙන්ම දෙවන උදාහරණය වඩාත් යහපත් බව සහ ගෞරවාන්විත බවක් එහි ඇති බව ඔබට දැනේවි.
コメント