top of page

මුදල් කළමණාකරණය පහසු කරන මූල්‍ය පුරුදු

Updated: Jul 16

එදිනෙදා මුදල් කලමණාකරණය නිවැරැදිව සිදු කිරීම කියන්නේ ජීවිතයේ සාර්ථකත්වයට, ඉතාම වැදගත් වෙන දෙයක්. නමුත් ප්‍රායෝගිකව බැලුවොත්, සමාජයේ බොහෝ දෙනෙක්, තමන්ගේ එදිනෙදා මුදල් ගණුදෙනු හරියට කළමණාකරණය කර ගැනීම ඇතුලේ නිතරම අසාර්ථක වෙන ස්වභාවයකුත් සුලබව දකින්න ලැබෙනවා. ඒ නිසා, බොහෝ දෙනෙක් "පඩියට වෙච්ච දෙයක් හිතා ගන්න බෑ", "සල්ලි වාශ්ප වෙනවා වගේ ඉවර වෙනවා" , "කොච්චර හෙව්වත් ඕනේ වෙලාවට අතේ සතේ නෑ" වගේ දේවල් කියනවා අපිට නිතරම අහන්න ලැබෙනවා. මේ නිසා මේ පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නේ, මෙහෙම නොවී, තමන් උපයන මුදල් හරියට කළමණාකරණය කර ගැනීම ඉතාම පහසු කර ගන්න භාවිතා කල හැකි උපක්‍රම 07ක් ගැන.


ඒ නිසා, ඔබත් මූල්‍ය කළමණාකරණයේ දුර්වලයෙක් නම්, අද ඉදලම මේ පියවර 7 ඔබත් භාවිතා කරන්න පටන ගන්න. එහෙම කලොත්, ඔබේ මූල්‍ය කළමණාකරණයේ තිබුන දුර්වලතා බොහෝමයක් බොහොම පහසුවෙන් විසඳිලා තියෙනවා කියන දේ ඔබටම දැනෙයි!



ආදායම් වියදම්, එවලේම සටහන් කරන්න පුළුවන් විදිහක් හදා ගන්න

බොහෝ දෙනෙක්ට මූල්‍ය කළමණාකරණය අපහසු වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි, තමන්ගේ ආදායම් වියදම් ගැන හරි Record එකක් තියා ගන්නේ නැති එක. ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්න ඕනේ කියලා බොහෝ දෙනෙක් හිතුවත්, ඕවා මතක තියාගෙන කරන්න යනකොට වැඩේ හරියට කරගන්න ලැබෙන්නේ නෑ. එහෙම වුනාම අන්තිමට අපි නතර වෙන්නේ, "සල්ලි වලට වෙච්ච දෙයක් හොයා ගන්න බෑ" කියන තැනින්.


මේ නිසා තමන්ගේ ආදායම් වියදම්, සිදුවෙන මොහොතේදීම Record කරගන්න පුලූවන් විදිහක් හදා ගන්න එක හරිම වැදගත්. මේක අමාරු දෙයක් නෙමේ, මේ වැඩේ ලේසියෙන්ම කරන්න ඔබට පහත ක්‍රම භාවිතා කරන්න පුළුවන්


* බැංකුව හරහා සියලු ආදායම් ලබා ගන්න. (එතකොට අමුතුවෙන් සටහන් කරන්න දෙයක් නෑ, ආදායම් ලැබුන විදිහ බැංකු වාර්ථාවේ සටහන් වෙනවා)

* වියදම් සියල්ලම, ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාට් එකෙන් කරන්න. (එතකොට වියදම් වුන විදිහ කාඩ් පතට අදාල වාර්ථාවෙන් ලබා ගන්න පුළුවන්)

* මුදලින් කරන වියදම් වලට බිල්පතක් ලබා ගන්න. (එතකොට වියදම් කලේ මොකටද කියලා මතක තියාගන්න දෙයක් නෑ. බිල්පතක් ලග තියෙනවා)


මේ තොරතුරු බලලා, ඔයාට පහසුවෙන්ම තමන්ගේ ආදායම් වියදම් සිදුවුන විදිහ ගැන වාර්ථාවක් හදා ගන්න පුළුවන්. ඒ වාර්ථාව බලලා, අනවශ්‍ය වියදම් එහෙම තියෙනවා නම්, ඒවා අඩුකරගන්න අවශ්‍ය තීරණ ගැනීම් සිදුකරන්න පුළුවන්.

හැම මාසයකම මුල Budget එකක් හදන්න

හැම මාසයක් මුලම තමන්ට ලැබෙන්න තියෙන ආදායම් මොනවාද , ඒවා ලැබෙන දවස් මොනවාද, ඒවගේම කරන්න තියෙන වියදම් හා ඒ වියදම් කරන්න වෙන දවස් වගේ දේවල් කලින් පුරෝකතනය කරලා, අයවැයක් හදා ගන්න.


එතකොට මාසය මුලම ඔයාට තමන් වියදම් කරන්න ඕනේ කොහොමද, ඒ වගේම තමන් මූල්‍යමය වශයෙන් හිර වෙන දවස් මොනවාද? ඒ වෙනුවෙන් කල යුතු දේවල් මොනවාද වගේ දේවල් තීරණය කරන්න පුළුවන්.


මුලින්ම ඉතිරි කරන්න, ඉතිරිය වියදම් කරන්න

වියදම් කරන්න කලින් ඉතුරුම් වෙනුවෙන් කල යුතු වෙන් කිරීම් කරලා ඉවර කරන්න. ඉතුරු කරන මුදල ඉවත් කලාට පසු අතේ ඉතිරි වෙන මුදල වියදම් කරන්න. නමුත් සාමාන්‍ය ජීවිතයේදී බොහෝ දෙනෙක් කරන්නේ, ඉතිරි කරන්න හිතාගෙන, වියදම් කරන්න පටන් ගන්න එක. එහෙම වුනාම අන්තිමට වෙන්නේ, දන්නේම නැතුව, ඉතිරි කරන්න හිටපු මුදලත් වියදම් වෙන එක.


Four Quadrant ක්‍රමය භාවිතා කරන්න

තමන්ට ආදායම හැම වෙලාවෙම කොටස් 04ට බෙදන්න, කොටසක් හදිසි අවස්ථාවකදී භාවිතයට ගන්න වෙන් කරන්න, කොටසක් එදිනෙදා වියදම් වෙනුවෙන් වෙන් කරන්න, තවත් කොටසක් තමන්ගේ දියුණුව වෙනුවෙන් ආයෝජණය කරන්න වෙන් කරන්න, ඉතිරි කොටස සමාජ වැඩ කටයුතු වෙනුවෙන් වෙන් කරන්න.


මේ විදිහට වෙන් කරලා වියදම් කලොත්, ඔබ උපයන මුදලින්, ජීවිතේ ලොකු දියුණුවක් ඇති කර ගැනීම බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මොකද ටික කාලයක් මේ විදිහට මුදල් වෙන් කරනකොට, හදිසියකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමානවත් මුදලක් තමන්ගේ අතේ ඉතිරි වෙන්න පටන් ගන්නවා, ඒ වගේම ජීවිතේ දියුණු කරගන්න අවශ්‍ය දේවල් වෙනුවෙන් වැය කරන්න පුලුවන් මුදලක් තමන් ගාව ඉතිරි වෙනවා. අනිත් අතට, යාලු මිත්‍රාදීන්ට උදව් කරන්න, වෙනත් සමාජ කටයුත්තක් කරන්න භාවිතා කරන්න පුලුවන් මුදලකුත් තමන් ලග ඉතිරි වෙනවා.


මාසික විගනන සාකච්චාවක නිරත වෙන්න

හැම මාසයක් අවසානයේම, තමන්ගේ ආදායම් වියදම් සිදුවුන විදිහ, ගැන වාර්ථා කල යුතු කෙනෙක් සකස් කර ගන්න. උදාහරණයක් විදිහට ඔබ විවාහක නම්, ඔබට පුළුවන් ඔබේ බිරිදට හෝ සැමියා සමග වියදම් වාර්ථා නිවැරැදිව සාක්ෂි සහිතව පෙන්වීම කරන්නට නොහැකි වුනොත් රු 10000ක් අනිත් කෙනාට දඩයක් ලෙස ගෙවිය යුතුයි, වැනි තරගයක් ආරම්භ කරන්න.


එතකොට, තමන් තමන්ගේ ආදායම් වියදම් හරියට සටහන් කරලා, අයවැයට අනුව වියදම් කරලා හරියට වැඩේ නොකලොත්, දඩ මුදලක් ගෙවන්න වෙන නිසා ඒ වැඩේ කොහොම හරි කරන්න ඔබ උත්සාහ කරනවා. මේ වැඩේට දඩ මුදල නොගෙවා මග හරින්න බැරි කෙනෙක්ව තෝරා ගන්න එක වැඩගත්.


මූල්‍ය අරමුණු දිනපතා ලියන්න

හැමදාම උදේ වැඩ පටන් ගන්න කලින් හෝ රෑ නින්දට යන්න කලින් තමන් මූල්‍යමය වශයෙන් මීලග වසර 05 ඇතුලත ලගා වෙන්න බලාපොරොත්තු වෙන තැන මොකක්ද කියන දේ ලියන්න පටන් ගන්න. මේක දිනපතා කරනකොට, තමන්ගේ මූල්‍ය අරමුණ හිතේ තදින් තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක, ඒ අුරමුණට යන්න අවශ්‍ය ස්වභාවික මුල්‍ය විනයක් ඔබ තුල ඇති වෙන්න පටන් ගන්නවා.


එතකොට ටික කාලයක් යනකොට, අනවශ්‍ය වියදම් එහෙම කරන එක, කොච්චර ආස වුනත් අපරාදේ කියන එක තමන්ටම හිතෙන්න පටන් ගන්නවා.


මුදල් කළමණාකරණයේ දක්ෂයෙක් බව නිතර හඟවන්න.

අපි ඕනෑම චරිතයක් කාලයක් රඟපානකොට ඒ චරිතය, අපේ සැබෑ චරිතය බවට පත් වෙනවා. ඒ නිසා, අද ඔබ මුදල් කළමනාකරණයේ ඇත්තටම දක්ෂයෙක් නොවුනත්, අඩුම තරමේ ඒ දේ රඟපාන්න උත්සාහ කරන්න.


අනිත් අයට තමන් දැඩි මූල්‍ය විනයක් තියෙන කෙනෙක් කියලා පෙන්නන්න උත්සාහ කරන්න. ටික කාලයක් යනකොට ඒ රඟපෑම ඔනේ සැබෑ චරිතය බවට පත් වෙන බව ඔබටම දැනේවි.


එහෙනම් මේ දේවල් 07, ඔබත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා, තමන්ගේ එදිනෙදා මූල්‍ය කළමණාකරණයේ තියෙන ගැටලු ටික විසඳ ගන්න උත්සාහ කරන්න.


 

මූල්‍ය සාර්ථකත්වය ගොඩනැගීමේ ප්‍රායෝගික උපක්‍රම හා සැලසුම් ගැන ප්‍රායෝගික මට්ටමකින් ඉගෙන ගන්න, පහතින් මේ වෙනුවෙන්ම අප නිකුත් කර ඇති, පොහොසත් බවේ රන් දොරටු හා මූල්‍ය අර්බුද ජය ගැනීමේ කලාව යන කෘතීන් දෙක Download කරගෙන කියවන්න.


මූල්‍යමය අපහසුතා, ණය ගැටලු වැනි ගැටලුකාරී අවස්ථා ඇති විට එයින් මිදීම වෙනුවෙන්, ක්‍රියාත්මක කල යුතු මූල්‍ය සැලසුම් සහිත ප්‍රායෝගික උපදෙස් පොත.


මූල්‍යමය ස්ථාවර බව ඇතිකර ගැනීම වෙනුවෙන් ප්‍රායෝගික මූල්‍ය සැලසුම් සහිත උපදෙස් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි.


Download කරගැනීමට අපහසු අය මෙය email එකක් ලෙස ලබා ගැනීමට ඔබට ලබා ගැනීමට අවශ්‍ය පොතේ නම සදහන් කල පණිවිඩයක් 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න.

752 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page