top of page
Writer's pictureChathuska Amarasekara

ඉංග්‍රීසි භාෂාව මෙහෙයවීමේ දක්ෂයෙක් වෙන්න මනෝවිද්‍යාත්මක උපක්‍රම



අපි මේ ලිපිය ලියන්නේ මූලික වශයෙන්ම අවුරුදු ගානක් ඉංග්‍රීසි ඉගෙනගෙනත්, තාම හරියට ඉංග්‍රීසි කතා කරගන්න බැරි වුන අය වෙනුවෙන්. ඒ වගේම අපි මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ , අවුරුදු ගානක් තිස්සෙ ඔබට ඇතිකරගන්න බැරි වුන ඒ හැකියාව, පුංචි මනෝවිද්‍යාත්මක අභ්‍යාසයක් හරහා ඉතාම කෙටි කාලයක් තුල ඇතිකර ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. ඒ නිසා ඔබත් එහෙම කෙනෙක් නම්, මේ ලිපිය අවසන් වෙනතෙක්ම අවබෝධයෙන් යුතුව කියවන ලෙසට අපි ඔබට මුලින්ම ආරාධනා කර සිටිනවා.


අපිට අපේ පරිගනකයට හෝ ජංගම දුරකතනයට යම් කිසි භාෂාවක් ඇතුලත් කරන්න ඕනේ වුනොත් , ඒ අදාල භාෂාව සහිත මෘදුකාංගයක් ඇතුලත් කිරීමෙන් එය සිදුකිරීමේ හැකියාව අපිට තියෙනවා.

නමුත් ඔබ කවදා හරි අහලා තියෙනවද පරිගනකයකට මෘදුකාංග ඇතුලත් කරනවා වගේ අපේ මනසට විවිද දත්ත ඇතුලත් කරලා අපිට විවිද හැකියාවන් ලබා ගන්න පුලුවන් කියලා?


පුදුමයි නේද? නමුත් ඒක තමයි ඇත්ත..


අපේ මනස කියන්නේ පරිගනකයක මෙහෙයුම් පද්දතිය වගේ දෙයක්. මේ මනස තුල වන විවිද දත්තයන්ට සාපේක්ෂව තමයි ඇත්තටම අපි ක්‍රියාකරන ආකාරය, අපේ හැකියාවන් හා දුර්වලතා වගේ හැම දෙයක්ම තීරණය වෙන්නේ.


ඒ වගේම අපේ මනස කියන්නේ, නැවත නැවත අපිට අවශ්‍ය ආකාරයෙන් program කරන්න පුලුවන් දෙයක්. මේ නිසා මනස ගැන හරියට දන්න කෙනෙකුට පුලුවන් මනසේ තියෙන දත්ත අවශ්‍ය ආකාරයෙන් වෙනස් කරලා, මිනිසෙක් තුල වන චර්යාවන්, හැකියාවන්, දක්ෂතාවයන් වගේ බොහෝමයක් දේවල් වෙනස් කරන්න.


අද අපි කතා කරන්නේ මෙන්න මේ හැකියාව භාවිතා කරලා කොහොමද ඉංග්‍රීසි කතා කරන්න බැරි කෙනෙක් කෙටි කාලයක් තුල හොදට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් කරන්නේ කියන දේ ගැන.

මෙන්න මේකයි ක්‍රමය,


ඕනෑම භාෂාවක් , අපිට හොදටම මෙහෙයවන්න පුලුවන් කියන එකේ අදහස තමයි, අපිට ඒ භාෂාව භාවිතා කරලා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම් කරන්න පුළුවන් කියන එක. මෙන්න මේ හැකියාව අපිට ලැබෙන්නේ, අපේ මනසේ තියෙන එක කොටසක් වන අවිඥාණික සිත කියන කොටස හරහා.


ඔබට දක්ෂ ලෙස භාෂාවක් හසුරවන්න පුළුවන්ද බැරිද කියන දේ තීරණය වෙන්නේ හැම වෙලාවෙම යම් භාෂාවකට අදාල දත්ත ඔබේ අවිඥාණික සිත තුල තියෙනවාද , නැද්ද යන කාරනාව මතයි. ඒ හැරෙන්න ඔබ භාෂාව කොතරම් දැන ගත්තත් , ඒ දත්ත තියෙන්නේ අවිඥානික සිත තුල නෙමේනම්, ඔබට ඒ භාෂාව දක්ෂ ලෙස හසුරවන්න හැකියාව ලැබෙන්නේ නෑ.


මේ කතාව ටිකක් අමුතු කතාවක් නිසා, අපි පොඩ්ඩක් ප්‍රායෝගික උදාහරණයක් හරහා මේ දේ තේරුම් ගන්න උත්සාහ කරමු.


ඔබ හිතන්න, Sorry කියන වචනය ගැන, අපේ අතින් යම් වරදක් සිදුවුන අවස්ථාවක, අපට හරි ලේසියෙන් Sorry කියන්න පුළුවන්, ඒ වචනේ ඉබේම අපේ කටට එනවා. අපි හිත හිත Sorry කියන්නේ නෑ, නමුත් එවැනි අවස්ථාවක "සමාවෙන්න" කියන වචනය ඉබේම කටට එන්නේ නෑ.


බොහෝ වෙලාවට අපි "සමාවෙන්න" කියලා කියනවානම් කියන්නේ හිතලා. අපි බොහෝ දෙනෙක් ඒ වචනය ක්ෂණික ප්‍රතිචාර දැක්වීම් වලට පාවිච්චි කරන්නේ නෑ.


දැන් හොදට කල්පනා කරලා බලන්න ඇයි එහෙම වෙන්නේ කියලා...


හේතුව මේකයි, අපි " සමාවෙන්න" කියන වචනය දන්නවා වුනාට, ඒ දත්තය තියෙන්නේ අපේ අවිඥාණික සිතේ නෙමේ. ඒ නිසා යම් සිදුවීමකට ප්‍රතිචාර දක්වන්න වුනාම, ක්ෂණිකව ඒ වචනය අපේ කටට එන්නේ නෑ. අපි ඒක හිතලා කතා කරන්න ඕනේ.


නමුත් Sorry වචනය එහෙම නෑ. ඒ දත්තය අපි බොහෝ දෙනෙක්ගේ අවිඥාණික සිත තුල තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා යමක් සිදු වුනාම ඉබේම , Sorry කියන වචනය අපේ කටට එනවා.


දුරකතන ඇමතුමක් ගන්න අවස්ථාවක් ගැන හිතන්න, අපිට ඒ අවස්ථාවෙදි ඉබේම Hello කියලා කියවෙනවා, නමුත් අපිට ආයුබෝවන් කියලා කියවෙන්නේ නෑ. මොකද ආයුබෝවන් කියන වචනය දන්නවා වුනාට ඒක අපේ අවිඥානික මනස තුල නෑ. ඒ නිසා අපිට ඒක එක පාරට කටට එන්නේ නෑ. නමුත් හිතලා කියන්න පුළුවන්.


ඉංග්‍රීසි භාෂාවෙත් අපි බොහෝ දෙනෙක්ට තියෙන ඇත්තම ගැටලුව ඔන්න ඕකයි. අපි බොහෝ දෙනෙක් භාෂාව දන්නවා, ඉගෙනගෙන තියෙනවා, නමුත් ඒ දත්ත අපේ අවිඥාණික මනස තුල නෑ. ඒ නිසා අපිට ක්ෂණිකව ඉංග්‍රීසි වචන අපේ කටට එන්නේ නෑ. අපි ඉංග්‍රීසි කතා කරන්නේ හිත හිත, මතක් කර කර. ඔන්න ඔය නිසයි, බොහෝ දෙනෙක්ට වසර ගනනක් ඉංග්‍රීසි ඉගෙන ගත්තත් දක්ෂ ලෙස භාෂාව මෙහෙයවන්න හැකියාව ලැබෙන්නේ නැත්තේ.


මේ තත්වය ඇති වෙලා තියෙන්නේ ඇත්තටම ඔබේ වරදක් නිසා නෙමේ. මේකට හේතුව, අපි බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්න භාවිතා කරන වැරදි ක්‍රම. ඉංග්‍රීසි කියන්නේ විශයක් නෙමේ භාෂාවක්, නමුත් තවමත් ලංකාවේ 90%ක්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ භාෂාවක් ඉගෙන ගන්න විදිහට නෙමේ, විශයක් ඉගෙන ගන්න අකාරයට.


ඔබ නිකමට ඔබ පාසලේ මුහුණ දුන්න ඉංග්‍රීසි විභාගය ගැන මතක් කරලා බලන්න.. එතැනදී ඔබේ පරික්ෂා කලේ ව්‍යාකරන පිලිබද මතකය පමණයි නේද? භාෂාවක් කියන්නේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම් වලට , අදහස් හුවමාරු කර ගැනීම් වලට අවශ්‍ය දෙයක්... නමුත් විභාගයේදී ඔබට ඒ දේ කරන්න පුලුවන්ද කියලා කොතැනකදි හරි පරික්ෂා කලාද?


ඔන්න ඔතනයි වැරදුනේ, වෙනත් විශයන් උගන්වන ආකාරයෙන්, භාෂාවක් උගන්වන්නවත්, ඉගෙන ගන්නවත් බෑ. එය වෙනම ක්‍රමයකට කල යුතු දෙයක්.


මොකද විශයක් ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගන්න දේවල් තැම්පත් වෙන්නේ , අපේ උඩු සිතේ හා යටි සිතේ මතකයන් තුල. ඒ දත්ත අවිඥාණික සිතට ඇතුල් වෙන්නේ නෑ. නමුත් භාෂාවකට අදාල දත්ත, තැම්පත් විය යුතු තැන වෙන්නේ අවිඥාණික සිත මිස, උඩු සිතවත් යටි සිතවත් නෙමේ.... ඔන්න ඔතන තමා ප්‍රශ්ණය තියෙන්නේ.


අන්න ඒ නිසා දැන් අපි ඔබට කියලා දෙන ක්‍රමයෙන් කරන්නේ කෙලින්ම ඉංග්‍රීසි භාෂාවට අදාල දත්ත, ඔබේ අවිඥාණික සිතට ඇතුලත් කරන එක. ඒ හරහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීම් වලට අදාලව තියෙන භාෂා දත්ත අලුත් කරන එක.


මේ අභාසයේ ඔබ මාස කීපයක් (3ක් පමන) එක දිගට නිරත වුනොත් අවුරුදු ගානක් ඉගෙනගෙනත් කතාකරගන්න බැරි වුන භාෂාව ඔබට ඉතා දක්ෂ ලෙස මෙහෙයවීමේ හැකියාවක් වර්ධනය වෙලා තියෙන බව, ඔබටම අත්විදින්න නිසක වශයෙන්ම පුළුවන්.


මෙන්න මෙහෙමයි මේ අභ්‍යාසය කරන්නේ.


පියවර 1: ඔබට ප්‍රායෝගික ජීවිතයේ නිතර භාවිතා කරන්න වෙන අදහස් ප්‍රකාෂ කිරීමකට අදාල වාක්‍ය කන්ඩයක් තෝරා ගන්න. ඉන්පසු එය ඉංග්‍රීසියෙන් කියන ආකාරය වාක්‍ය කන්ඩයක් ලෙස සකසා ගන්න.

උදා. ලෙස බැලුවොත් අපි හිතමු ඔබට හැමදාම දුරකතන ඇමතුම් ලබාගෙන, " හෙලෝ මම අමල්, මම කතා කරන්නේ ABC සමාගමෙන්" කියලා කියන්න වෙනවා කියලා.

දැන් මේකේ ඉංග්‍රීසි පරිවර්ථනය ලබා ගන්න : Hello , I'm Amal , calling from ABC company. එහෙම නැත්නම්, Hello, This is Amal from ABC Company. වගේ වාක්‍ය රටාවක් ඔබට තෝරා ගන්න පුලුවන්.


පියවර 2: හොදින් මේ වාක්‍ය කන්ඩය( ඉංග්‍රීසි වාක්‍යය ) කීප වරක් ශබ්ද නගා කියවන්න. (10 වාරයක් පමණ)


පියවර 3 : දැන් මේක ප්‍රායෝගික ජීවිතයේදී විවිධ අවස්ථා වල , ඔබ ප්‍රායෝගිකව කිසි බයක් නැතුව පාවිච්චි කරන ආකාරය සිතෙන් දකින්න.


උදාහරණයක් විදිහට, ඔබට පුලුවන් Hello , I'm Amal , calling from ABC company. කියලා ඔබේ ආයතනයේ පාරිබෝගිකයන් 10කට කතා කරලා කියන හැටි හිතෙන් මවන්න.


මේ ක්‍රමයේදී ඔබට ප්‍රතිඵල අත්විදින්න වැඩි කාලයක් බලාගෙන ඉන්න ඕනේ නෑ, මීලග දිනයේදී ඔබට එවැන්නක් කියන්නට සිදු වුවහොත් පෙරට වඩා පහසුවෙන්, ඉබේම ඔබේ කටට Hello , I'm Amal , calling from ABC company. කියලා එන හැටි ඔබටම අත්විදින්න පුළුවන්.


ඔබ දවසකට මේ ආකාරයෙන් එක වාක්‍ය රටාවක් පුරුදු වුනොත් මාස 3ක් යනකොට ඔබ වාක්‍ය රටාවන් 90ක් පමණ පුරුදු වෙලා ඉවරයි. ඒ කියන්නේ ඔබ නිතර සාකච්චා කරන බොහෝමයක් දේවල් නිරායාසයෙන්ම ඉංග්‍රීසියෙන් කියන්න ඔබට පුළුවන් හැකියාව ලැබිලා ඉවරයි...


මේ අභ්‍යාසයේ නිරත වෙන්න වඩාත් සුදුසුම වෙලාව තමයි රාත්‍රී නින්දට යන්න කලින් වෙලාව. මොකද මේ වෙලාවෙදී ඔබ දවසේ වැඩ කටයුතු ඉවර කරලා විවේකයක් ගන්න වෙලාව. ඒ වගේම නින්දෙදී ඔබේ උඩු සිතේ ක්‍රියාකාරීත්වය නවතිනවා, ඉන් පසු ක්‍රියාත්මක වෙන්නේ ඔබේ යටි සිත හා අවිඥාණික සිත පමණයි. ඒ නිසා ඔබ ඇතුලත් කරන දත්ත ඉතා හොදින් අවිඥානික මනස තුල තැම්පත් වෙන්න මේක ලොකු උදව්වක් වෙනවා.


ඒ වගේම මෙතන තියෙන වැදගත්ම දේ තමයි, ඔබට නිතර කතා කරන්න වෙන වාක්‍ය රටාවන් හරියට හදුනා ගැනීම හා ඒවා ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වන ආකාරය හරියට ඉගෙන ගැනීම. මොකද භාෂාවක් කියන්නේ සංස්කෘතියක් එක්ක ගොඩනැගෙන දෙයක්. ඒ නිසා සමහර වෙලාවට , සිංහල භාෂාවේ ඍජු පරිවර්ථන භාවිතා කලා කියලා, ඔබට ඉංග්‍රීසි ලස්සනට කතා කරන්න ලැබෙන්නේ නෑ.


උදාහරණයක් විදිහට Let me sleep on it වගේ වාක්‍යයක් ගැන හිතන්න, මෙහි තේරුම බැලූ බැල්මට "මට එය මත නිදා ගන්න දෙන්න" කියන එකනේ..නමුත් ඉංග්‍රීසි භාෂාවේදී sleep on it කියන වාක්‍ය රටාව පාවිච්චි කරනවා "නිවී සැනසිල්ලේ කල්පනා කරනවා, වෙලා අරගෙන හිතනවා" යන්න අදහස් කරන්න.

ඒ නිසා යම් ගැටලුවක් ගැන ටිකක් නිවී සැනසිල්ලේ හිතන්න ඉඩ දෙන්න, අවශ්‍ය පිලිතුර ලබා දෙන්න යම් කාලයක් ලබා දෙන්න වගේ යමක් කියන්න ඕනේ වුනොත්, ඔබට Let me sleep on it කියලා කියන්න පුළුවන්.


උදා: I don't think I can decide now, Let me sleep on it and I'll tell you my answer tomorrow මම හිතන්නේ නෑ, මට දැන් තීරණය කරන්න පුළුවන් කියලා, මට ටිකක් නිවී සැනසිල්ලේ හිතන්න දෙන්න, මම හෙට මගේ පිලිතුර ඔබට කියන්නම්.


මේ අභ්‍යාසයේ නිරත වෙනකොට මෙන්න මේ වගේ වාක්‍ය රටාවන් හදුනා ගෙන පුරුදු වෙන එක තමා වැදගත්ම වෙන්නේ. මොකද එහෙම නැතුව, ඔබ ඒ වෙනුවෙන් ඍජු පරිවර්ථන හුරු වුනොත්, ඔබ කොතරම් හොදට කතා කලත්, ඔබ ඉංග්‍රීසි කතා කරනකොට අනිත් කෙනාට තේරෙනවා, ඔයාට ඉංග්‍රීසි බෑ කියලා. මොකද ඉංග්‍රීසි භාෂාවේ තියෙන ලස්සන ඔයා කතා කරනකොට එන්නේ නෑ.


ඒ නිසා ඒ දේවල් ගැනත් හිතලා හරියට මේ අභ්‍යාසයේ නිරත වෙන එක ඉතාම වැදගත්.


56 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page