top of page

ඔබේ සියලු තොරතුරු ලියවී ඇති "නාඩි වාක්‍ය" සහිත පැරැණි පුස්කොල පොත් වල ඇත්ත කතාව.


එක්තරා අවස්ථාවක, මගේ දේශණයකට පැමිනි, කෙනෙකු, මගෙන් අමුතු ප්‍රශ්ණක් විමසා සිටියා, ඒ විමසීම වූයේ, අපේ අනාගතය, ඇත්තටම අපිට ගොඩනගා ගත හැකිද, එහෙමත් නැත්නම් එය දැනටමත් නිශ්චිතව සකස් වී ඇත්ද කියන කාරණාව.


තමන්ගේ අනාගතය තමන්ට අවශ්‍ය පරිදි සකස් කර ගැනීම වෙනුවෙන් උපදෙස් ලබා දෙන වැඩසටහනක් අවසානයේදී මෙවැනි ප්‍රශ්ණයක් විමසීමට හේතු මම ඔහුගෙන් විමසූයේ, ඇත්තටම ඒ මොහොතේදී එය එක්තරා ආකාරයක මෝඩ ප්‍රශ්ණයක් ලෙස මට දැනුනු නිසාවෙන්.


කොහොම වුනත් එය මෝඩ ප්‍රශ්ණයක් නොවන බව මට වැටහුනේ, ඔහු ඉදිරිපත් කල හේතු ඇසීමෙන් පසුවයි.


ඔහුගේ විමසීමට හේතු ලෙස ඉදිරිපත් කලේ මෙවැන්නක්.


"සර් මම ලගදී බම්බලපිටිය පැත්තේ නාඩි වාක්‍ය කියන තැනකට ගියා. එතැනදී, මගේ සියලු විස්ථර හරියටම පරන පොතක් බලලා කිව්වා. නාඩි වාක්‍ය වල, අපි හැමෝගෙම විස්ථර තියෙනවාලු. තමන්ට ගැලපෙන පිටුව තෝරාගෙන, එහි අපේ උපතේ සිට මරණය දක්වාම විස්තර බලාගන්න පුළුවන් ලු.


මම ඒක ඇත්තටම විශ්වාස කලේ නෑ, හැබැයි ගිහිල්ලා බලනකොට, ඇත්තටම මට කියපු දේවල් හරි, මගේ අම්මා තාත්තාගේ නම ගමේ ඉදලා, මගේ බිරිද ගැන, මම ගැන, මගේ රැකියා ගැන හැම දේම හරියටම කිව්වා.


ඒ වගේම මට කියපු දේවල් රෙකෝඩ් කරලත් දුන්නා. එහෙම වුනොත් කොහොමද අපේ ජීවිතය අපිට අවශ්‍ය විදිහට ගොඩනගා ගන්න පුලුවන් කියන දේ මේකත් එක්ක ගලපා ගන්නේ?"


ඔව් එහෙම වසර ගනනාවකට පෙර ලියපු පොතක මගේ උපතේ සිට මරණය දක්වා සියලු විස්ථර තියෙනවා නම්, ඇත්තටම මිනිහෙක්ට සාර්ථක වෙන්න උගන්වන එක බොරු වැඩක්.


ඒ නිසා, අපි තීරණය කලා, මේ විශ්මිත නාඩි වාක්‍ය වල ඇත්ත හොයාගෙන යන්න.


මුලින්ම අපි ගියේ, බම්බලපිටිය ප්‍රදේශයේ, මහල් කීපයක ගොඩනැගිල්ලකට, පලවෙනි වතාවට යන කෙනෙක්ට මුලින්ම ඔවුන් පහල මල් මාලා විකුණන කෙනෙක්ගෙන් පිච්ච මල් මාලාවක් මිලදීගෙන යන්න කියන උපදෙස මුලින්ම ලබා දෙනවා.


මල් මාලාව ගත්තාට පස්සේ, පෝලිමේ ඉහල මාලයට ගමන් කල යුතුයි. පඩිපෙලේ එක් පසක වූ බිත්තියේ, නාඩි වාක්‍ය ගැන ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් සමග කල සාකච්චා ඇතුලත් පොතක් මිලදී ගත හැකියි යනුවෙන් දැන්ව්ම් අලවා තිබෙනවා.


ඇතැම්විට අප පුද්ගල සංවර්ධන ක්ෂේත්‍රයේ නොසිටියා නම්, ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ රුව සහිත, පොත මිලදී ගැනීමට හැකියි යනුවෙන් සදහන් පුවරුව දැකීම මේ ගැන තව දුරටත් විශ්වාසය වැඩි කරන්නට සමත් වූ කරුණක් විය හැකියි.


කෙසේ හෝ පෝලිමේ සිටින විට ඉදිරියේ සිටි කීප දෙනෙකු, නාඩි වාක්‍ය අසා යන කීප දෙනෙකුගෙන්, "ඇත්ත කියනවාද?" යනුවෙන් ඇසූ අතර, නාඩි වාක්‍ය අසා එන අය, "ඔව් ඔව් හරි පුදුමයි" වැනි දේ කියමින් අපිව පසු කර ගියා.


අවසානයේ පෝලිමේ සිටි අපි, උඩු මහලේ වූ කාමරයකට ලගා වූ අතර, එහි ඉන්දියානුවන් යයි හැගෙන කීප දෙනෙකු විසින් එහිදී අපේ මුදල් අය කිරීම, ඇගිලි සලකුණු ලබා ගැනීම සහ අප ගෙනා මල් මාලා බාර ගැනීමක් සිදු වුනා.


ඔවුන් ඇගිලි සලකුණු ලබා ගන්නේ, සීල් පෑඩ් එකක ඇගිල්ල තබා එය , ඔවුන් දෙන කුඩා කොල කැබැල්ලක තබා ගැනීමෙන්.


එතැන් සිට වටේ සිටින අය සමග කතා කරමින්, පැය කීපයක් ගත කරන්නට අපට සිදු වුනා. බොහෝ දෙනෙකු, එහි වූ විශ්මිත බව ගැන කතා කල අතර, දැනට කීප වරක් තමන් පැමින ඇති බවත්, කියූ සියල්ල සත්‍ය බවත් ප්‍රකාශ කරන කීප දෙනෙක් ඒ අතර සිටියා.


එතැනදී, ඒ සියලු දේ අසමින්, මම හා මගේ කන්ඩායම සිදුවන සෑම සුලු දෙයක් ගැනම සියුම්ව විවිධ කෝනයන්ගෙන් නිරීක්ෂණය කරමින් සිටියා.


අවසානයේ මගේ අවස්ථාව ලැබුණු පසු අප දෙදෙනෙකු එයට සහබාගී වීමට තීරණය කලේ, සිදුවන සියලු දේ ඇස් හතරකින් නිරීක්ෂණය කිරීමේ චේතනාව ඇතිවයි.


අපට මුලින්ම කුඩා කාමරයකට යන්නට උපදෙස් ලැබුණු අතර, එහි මේසයක්, පුටු දෙකක් සහ, සෝෆා එකක් තිබුනා.


සෝෆා එක නාඩි වාක්‍ය අසන්නට එන අයට හිද ගැනීම වෙනුවෙන් වූ අතර, අනිත් පුටු දෙක නාඩි වාක්‍ය කියන, ඉන්දියානුවාට සහ පරිවර්ථකයාට වෙන් වී තිබුනා.


එහි සෝෆාවේ හිද ගත් පසු, එය මදක් පහලට කිදා බහින අතර, එවිට, මේසය හා පුටු තිබෙන්නේ අපේ ඇස් මානයට ටිකක් ඉහලින්. එමෙන්ම මේසය උඩ පුස්කොල පොතක් වූ අතර, එය අපි නිරීක්ෂණය කල අතර එහි දමිල හෝ වෙනත් භාශාවකින් වූ අක්ෂර තිබුනා.


සුලු මොහොතකට පසු, නාඩි වාක්‍ය කියන ඉන්දියානුවා හා පරිවර්ථකයා අපි සමග සාකච්චා කිරීමට පැමිනි පසු සාකච්චාව ඇරැබුනා.


ඔවුන් ශබ්ද පටිගත කිරීමේ යන්ත්‍රයක් රැගෙන ආ අතර එය මුලින්ම සක්‍රීය කලේ නැහැ. නමුත් අපි සගවාගෙන සිටි ශබ්ද පටිකගත කිරීමේ යන්ත්‍රය තුල සියලු දේ පටිගත වෙමින් තිබුනා.


මුලින්ම නාඩි වාක්‍ය අහන්නට හේතුව වැනි දෙයින් ඔවුන් සාකච්චාව ආරම්භ කලා. එහිදී මා ජීවත් වෙන ප්‍රදේශය, රැකියාව වැනි දේ ගැන වක්‍රාකාරයෙන් ඔවුන් තොරතුරු ලබා ගන්නා බව අපට නිරීක්ෂණය වුනා.


ඉන්පසු ඉන්දියානුවා, එහි වූ පුස්කොල පොත පෙරලන්නට පටන් ගත්තා. ඒ අතර මම ගැන විස්තර සහිත පිටුව සොයා ගැනීම වෙනුවෙන් මගෙන් විවිද ප්‍රශ්ණ විමසුවා.


ඒ සියලු ප්‍රශ්ණ එකකට එකක් සම්බන්ද නැති ප්‍රශ්න.


උදාහරණයක් ලෙස මගේ නමට අකුරු කීයද?

නමුත් ඔවුන් එහිදී එය අහන්නේ, ඔයාගේ නම අකුරු හතරේ නමක්ද වැනි ආකාරයකින්, නෑ කිව්වොත්, එහිදී අකුරු හතරට වැඩිද අඩුද යනුවෙන් විමසනවා.


ඉන්පසු අහන්නේ වෙනම ප්‍රශ්නයක්, උදාහරණයක් විදිහට අම්මා ලංකාවේද වගේ එකක්.


ඉන්පසු මගේ පියාගේ නමේ මුල අකුර (එහිදීත් ඔවුන් අකුරු කීපයක් දී එහි එය තිබෙනවාද යනුවෙනුයි විමසන්නේ)


ඉන්පසු නැවතත්, මගේ නම අකුරු තුනක එකක්ද වැනි දෙයක් ඔවුන් අහනවා.


මෙහිදී, අපට නිරීක්ෂණය වූ දෙයක් වූයේ, පරිවර්ථකයා, මේසය යට යම් පත්‍රිකාවක් තියාගෙන ප්‍රශ්න අසන විට යමක් අපිට නොපෙනෙන සේ සටහන් කරන බවයි.


කෙසේ හෝ මෙම ප්‍රශ්ණ වටය පැය භාගයක් පමණ ඇදී ගියා. අවසානයේ ඔවුන් මගේ පියාගේ නම, සම්පූර්ණයෙන්ම කියමින්, පියාගේ නම මේකද යනුවෙන් විමසීමක් කලා.


එය නිවැරැදි නිසා, මා ඔව් යනුවෙන් සදහන් කිරීමෙන් පසු, ඔවුන් මගේ තොරතුරු ඇතුලක් පිටුව හමු වූ බව චර්යාවන්ගෙන් හැගවීමක් කලා.


ඉන්පසු ඔවුන් මගේ සියලු විස්ථර ඉතාම නිවැරැදිව කියන්නට පටන් ගත්තා. එය ඔවුන් පටිගත කලා. අවසානයේ එය CD එකක් ලෙස අපට බාර දුන්නා.


අපි එය ලබාගෙන එතැනින් පිටත් වූ පසු මුලින්ම, එහි ඔවුන් පවසන සියලු කරුණු හා අප රහසින් පටිගත කල හඩපට සංසන්දනය කිරීමක් සිදු කලා.


එහිදී අපට නිරීක්ෂණය වූයේ මෙවැන්නක්.


ඔවුන් අප සමග පටිගත කිරීමට පෙර, මගේ තොරතුරු ඇතුලත් පිටුව සොයා ගැනීම වෙනුවෙන් කල එකකට එකක් සම්බන්ද නැති ප්‍රශ්ණ තුල, පසුව ඔවුන් කියන සියලු දේ වලට අදාල තොරතුරු මා විසින්ම විවිද අවස්ථා වල දී තිබුනා.


ඒ කිසිවක් ඔවුන් කොලයක් බලාගෙන කියූ දේවල් නොවෙයි. ඒ සියල්ලම මා විසින්ම එකකට එකක් සම්බන්ද නැති ප්‍රශ්ණ ඇතුලේ ලබා දුන් උත්තර සම්බන්ද කර කියූවක්.


කෙසේ වෙතත්, ඒ ප්‍රශ්න කිරීම් තුල, අපි සත්‍ය තොරතුරු ඇතුලත, බොරු තොරතුරු කීපයකුත් ඇතුලත් කලා. උදාහරණයක් ලෙස, මගේ රැකියාව ගැන මම සත්‍ය සදහන් කලේ නැහෑ.


අවාසනාවට මා ගැන සියලු දේ ඇතුලත් ඔවුන්ගේ පුස්කොල පොතේ ඒ බොරුවත් සටහන් වී තිබී තිබෙනවා.


රැවටෙන්න එපා, තාරිකික වෙන්න, සූක්ෂම වෙන්න, ඔබේ අනාගතය ඔබේ නිර්මාණයක්. එය ඔබට කැමැති ආකාරයකින් නිර්මාණය කරගත හැකියි. .











1,853 views

1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
Jul 04
Rated 5 out of 5 stars.

බොහෝම ස්තූතියී ඔබට

Like
bottom of page