top of page
Writer's pictureChathuska Amarasekara

LOCKDOWN එකක්දී Business එක බේර ගන්නේ කොහොමද?



LOCKDOWN එකක් කියන්නේ ව්‍යාපාරිකයෙකුට මුහුණ දෙන්න වෙන ලොකු ම අවාසනාවන්ත ම සිදුවීම් වලින් එකක් කීවොත් වරදක් නෑ. නමුත් එය විටින් විට සිදුවෙන්න පුලුවන්. ඒ නිසාවෙන් ඔබ ව්‍යාපාරයක් සිදු කරනවා නම් එවැනි තත්වයන්ට මුහූන දෙන්නට පුළුවන් ආකාරයෙන් ව්‍යාපාර සිදු කිරීම ඉතාම වැදගත්.


ව්‍යාපාර සාර්ථකත්වය පිලිබද කතා කරන කොට බොහෝ දෙනෙක් මෙවැනි දේ පිලිබද සාමාන්‍යයෙන් අවධානය යොමු නො කලත්, ලෝකයේ බොහෝමයක් සාර්ථක ව්‍යාපාර හා ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර සැලසුම් නිර්මාණය කිරීමේදී , ඒ වගේම ආයෝජණයන් සිදු කිරීමේ දී මෙවැනි තත්වයන් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.


ඒ නිසා අද මම මේ ලිපියෙන් කියන්නේ ඊලගට ඔබට මුහුණ දෙන්න වෙන LOCKDOWN එකක දී වුවත් ඔබේ ව්‍යාපාරය සුරක්ෂිත වෙන ආකාරයෙන් සැලසුම් කරන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් පියවර කීපයක් ගැන.


1. විවිධ ගනුදෙනු ක්‍රම පාවිච්චි කරන්න.

සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවල් වල දී බොහෝමයක් ව්‍යාපාර මුහුණ දෙන ලොකු ම ගැටලුව තමයි, තමන් සතුව යමක් අලෙවි කිරීමට තිබුනත්, ඒ වෙනුවෙන් පාරිභෝගික පිරිසක් සිටියත්, මේ ගනුදෙනුව කරගන්න තියෙන අපහසුව. බොහෝ වෙලාවට ඔබ ඔබේ භාණ්ඩ හා සේවා අලෙවියට භාවිතා කරන එකම ක්‍රමය මුදල් හෝ චෙක්පත් පමණ නම්, ඔබ ඔබේ භාණ්ඩ හා සේවා අලෙවි කරන්නේ යම් නිශ්චිත ස්ථානයක පමණ නම් ඔබට මෙවැනි තත්වයක දී ලොකු අමාරුවක වැටෙන්න සිදු වෙනවා.


මේ නිසා සෑම විටම ඔබේ ව්‍යාපාරය ගනුදෙනු කල හැකි විවිධ ක්‍රම සමග යාවත්කාලීන වෙමින් සන්නද්ධ කිරීම, ඉතාම වැදගත්, අද වන විට අන්තර්ජාල ගනුදෙනු කිරීම ( කාඩ් පත් හරහා ), විවිධ ජංගම දුරකතන මෘදුකාංග හරහා ගනුදෙනු කිරීම, අන්තර් ජාල පසුම්බි හරහා ගනුදෙනු කිරීම ( Pay Pal වැනි ) වගේ බොහෝමයක් ක්‍රම ඔබට ගනුදෙනු කිරීම වෙනුවෙන් භාවිතා කරන්න පුලුවන්. ඒ නිසා මේ අකාරයන් සියල්ලම හෝ බොහෝමයක් හරහා ඔබේ පාරිභෝගිකයන්ට ගනුදෙනු කිරීමේ අවස්ථාව ඔබ සලසා ඇත්නම් , මෙවැනි අවස්ථාවක ඔබට ගනුදෙනු සිදුකර ගැනීමට තියෙන අපහසුව සම්බන්ධයෙන් වඩා වැඩි සුරක්ෂිත බවක් ඇති කර ගන්න පුළුවන්.


2. විවිධ වෙලදපොලවල් භාවිතා කරන්න. ( භාණ්ඩ හා සේවා ඇණවුම් කිරීම වෙනුවෙන් )

ඔබ ඔබේ භාණ්ඩ හා සේවා අලෙවියට භාවිතා කරන්නේ එකම වෙලදපොලක් විතරයි නම්, ( උදාහරණයක් ලෙස ඔබේ වෙලදසැල තුල අලෙවිය වැනි ) එතැන දී පාරිභෝගිකයන්ට එතැනට ලගා වීමට තියෙන අපහසුව නිසා ඔබට මෙවැනි තත්වයක දී විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදු වෙනවා, මේ නිසා සෑම විටම ඔබේ වෙලදපොල එකම තැනකට සීමා නො කර, ඔබගේ වෙබ් අඩවියක් තුල අන්තර් ජාල වෙලදපොලක් නිර්මාණය, වෙනත් වෙබ් අඩවි තුල වෙළදාම් කිරීම ( Amazon , Ebay, AliExpress වැනි ), සමාජ මාධ්‍ය තුල වෙලදපොලක් නිර්මාණය කර ගැනීම ( Facebook, Whatsapp වැනි ක්‍රම හරහා ඇනවුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම ) වැනි විවිධාකාර වෙලදපොලවල් වෙත ඔබේ ව්‍යාපාරය විවෘත්ත කිරීම හරහා ඔබට මෙවැනි අවස්ථාවක වඩා වැඩි ස්ථාවර බවක් රදවා ගැනීමේ හැකියාව තිබෙනවා.


3. එකම භාණ්ඩ හා සේවා වර්ගයකට සීමා නොවීම

ඔබ බොහෝමයක් ස්ථාවර ව්‍යාපාර හා අති සාර්ථක ව්‍යාපාරිකයන් දෙස බැලුවොත් ඔබට පැහැදිලිව ම පෙනෙන දෙයක් තමයි, ඔවුන් විවිධ ක්ෂේත්‍රයන් තුල තම අණසක පතුරා ගෙන සිටීම. මොකද මෙවැනි අවස්ථාවල ඇතැම් භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම වැඩි වීම හා, ඇතැම් භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම අඩු වීම සිදු වෙනවා.


උදාහරණයක් ලෙස ඔබ ඔබේ ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ හෝටල් ක්ෂේත්‍රයේ පමණක් නම් මෙවැනි තත්වයක දී ඔබට ලොකු බලපෑමක් එල්ල වෙනවා, නමුත් ඔබ හිතන්න ඔබ හෝටල් වලට පමණක් සීමා නොවී, කෘෂි කර්මාන්ත, රෝහල් හා වෛද්‍ය ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර කීපයක ඔබේ ව්‍යාපාර කටයුතු සිදු කලා නම් ඔබට මේ මොහොතේ තවමත් සුරක්ෂිත වෙන්න අවස්ථාව තිබෙනවා.

මේ නිසා විවිධ භාණ්ඩ හා සේවා වර්ගයන්, විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන් තුල ක්‍රියාත්මක වීමට හැකි අයුරින් ඔබේ ව්‍යාපාර සැලසුම් කිරීම ඉතාම වැදගත්.


4. භාණ්ඩ හා සේව බෙදා හැරීමේ ක්‍රම තුල විවිධත්වයක් පවත්වා ගෙන යාම

සාමාන්‍යයෙන් මෙවැනි ගැටලුකාරී තත්වයක් දී මීලගට ඇතිවෙන ලොකු ම ගැටලුව තමයි බෙදා හැරීම. මොකද ඔබගේ වෙලදසැලට පැමිණිලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න තියෙන හැකියාව, මෙවැනි තත්වයක දී ඉතාම සීමා සහිතයි, ඒ නිසා සෑම විටම ව්‍යාපාරයක් ගොඩනැගීමේ දී , විවිධ බෙදාහැරීමේ ක්‍රම සහිත ව එය ගොඩනැගීම ඉතාම වැදගත්, උදාහරණයක් ලෙස ඔබට ඔබේම බෙදාහැරීමේ නිලධාරියෙක් පත් කිරීම, ඊට අමතරව බෙදා හැරීමේ කටයුතු කරන ආයතන කීපයක් සමග කටයුතු කිරීම, විවිධ මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමේ ක්‍රම ස්ථාපනය වැනි බොහෝමයක් දේවල් ඔබට කරන්න පුළුවන්.


ඒ වගේම ඇතැම් භාණ්ඩ හා සේවා වලට ඔබට විද්‍යුත් බෙදා හැරීම් වැනි දේවල් භාවිතා කරන්න පුළුවන්, උදාහරණයක් ලෙස ඔබ ලේඛකයෙක් නම් මේ වෙලාවේ ඔබේ පොත් මිලදී ගන්න ඔබේ පාඨකයන්ට වෙලදසැල් වලට යන්න හැකියාවක් නෑ. නමුත් ඔබට පුළුවන් නම් ඔබේ පොතේ ‍මෘදු පිටපත් අලෙවි කරන්න, මෙවැනි තත්වයක දී ඔබේ විකුණුම් වල සුරක්ෂිත බව ඉතාම වැඩියි.


5. පුද්ගල දක්ෂතා මත ව්‍යාපාර මෙහෙයුම් සැලසුම් නො කිරීම

පුද්ගල දක්ෂතා මත ව්‍යාපාර කිරීම කියන්නේ , ඔබේ ආයතනය තුල ඉන්න පුද්ගලයන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් නිසා තමන්ගේ ව්‍යාපාර පැවතීමේ වාතාවරණයක් පැවතීමේ ස්වභාවයට. උදාහරණයක් ලෙස බැලුවොත් ඔබ හෝටලයක් පවත්වා ගෙන යනවා නම් , එහි වැඩි අලෙවියක් රදා පවතින්නේ කෝකියාගේ තියෙන දක්ෂතාව මත නම් , එවැනි ආකාරයේ ව්‍යාපාර පුද්ගල දක්ෂතා මත මෙහෙය වෙන ව්‍යාපාර ගණයට ඇතුළත් වෙනවා.


මෙවැනි ව්‍යාපාර වල තියෙන ගැටලුව තමා , අදාළ දක්ෂතාව තියෙන පුද්ගලයා නොමැති වුනොත් ව්‍යාපාර මෙහෙයුම් අඩාල වීම. මෙවැනි තත්වයන් වලදී එවැනි ව්‍යාපාර වලට ලොකු අවදානමක් ඇති වෙනවා.


නමුත් ඔබ ඔබේ ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ පුද්ගල දක්ෂතා වන් වෙනුවට ක්‍රමෝපායන් මත නම් මෙවැනි අවස්ථාවක එය ව්‍යාපාර මෙහෙයුම් සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාමට විශාල වශයෙන් බලපානවා.


උදාහරණයක් ලෙස ඔබ බැලුවොත් ලෝකය පුරා තියෙන Fast Food Restaurant දෙස, ඔවුන්ගේ මෙහෙයුම් සෑම විටම ක්‍රියාත්මක වන්නේ ක්‍රමෝපායන් මත පමණයි. ඕනෑම ආහාරයක් නිර්මාණය කරන නිශ්චිත ක්‍රමයක් ඔවුන් නිර්මාණය කර තිබෙනවා. එතැනදී ඔවුන් කිසිදු අවස්ථාවක පුද්ගල දක්ෂතාවයන් මත රදා පවතින්නේ නෑ. ඔවුන් කරන්නේ කවුරුන් හෝ යොදා නියමිත ක්‍රමෝපායන් අනුගමනය කිරීම පමණයි. එතැනදී කෝකියා කවුරු වුනත් නියමිත ප්‍රමිතියෙන් ආහාර නිපදවන්න ඔවුන්ට කිසිදු ගැටලුවකින් තොරව හැකියාව තිබෙනවා.


ඔබ මේ ලෝකයේ තියෙන ඕනෑම සුරක්ෂිත සාර්ථක ව්‍යාපාරයක් දෙස බැලුවොත් මේ තත්වයන් 5 දක්නට ලැබෙනවා. ඒ වගේම පොඩ්ඩක් වෙනස් විදිහට හිතුවොත්, මේ තත්වයන් 5 ඕනෑම ව්‍යාපාරයකට ඇතුළත් කරන්නත් පුළුවන්. ඒ නිසා ඔබ ව්‍යාපාරයක් සිදු කරනවා නම් හෝ ව්‍යාපාරයක් පටන් ගන්න හදනාවනම් , ඊලගට ඔබට මුහුණ දෙන්න වෙන ඕනෑම LOCKDOWN එකක දී ,ඔබේ ව්‍යාපාරය සුරක්ෂිත කරගන්න , ඔබට මේ කරුණු 5 ඔලුවේ තියා ගෙන තමන්ගේ ව්‍යාපාරය සැලසුම් කලොත් අනිවාර්යයෙන් ම පුළුවන්!




108 views

Commentaires

Noté 0 étoile sur 5.
Pas encore de note

Ajouter une note
bottom of page