දෙනකොට ලැබෙනවා කියන එක ඈත අතීතයේ සිට පෙරදිග , අපේ සංස්කෘතිය ආගම සමග අප තුල තැම්පත් වුන විශ්වාසයක්. නමුත් ඇත්තටම එහෙම වෙනවද ? එහෙම නැත්නම් මෙය යහපත් මිනිසෙක්, අනුන්ට උදවු උපකාර කරන මිනිසෙක් බිහි කිරීමේ අදහසින් ඇති වුන සංකල්පයක්ද?
දානය සම්බන්දයෙන් බෞද්ධ ඉගැන්වීම් සලකා බැලුවොත් එහි සදහන් වෙන්නේ යමක් දෙනකොට තමන්ට තියෙන හොදම දෙයින්, තමන්ට තියෙන වටිනාම දෙයින් දෙන්න කියලා. ඒ වගේම යමක් දෙනකොට බලාපොරොත්තුවකින් තොරව දෙන්න කියලා. එහෙම නිර්ලෝභීව යමක් දෙන කෙනාට තමයි ලැබෙන්නේ කියලා.
ඒ වගේම සාර්ථකත්වය සම්බන්දයෙන් වන මනෝවිද්‍යාත්මක සංකල්පයක් තියෙනවා, අපි නිරන්තරයෙන්ම සිතන දේ තමයි අපේ ජීවිතයේ යතාර්ථය වෙන්නේ කියලා, එහෙම නැත්නම් අපි සිත තුල ගොඩනගන ලෝකය තමයි අපේ ජීවිතයේ යථාර්ථය වෙන්නේ කියලා.
දැන් අපි මෙන්න මේ කරුණු දෙකම හිතේ තියාගෙන බලමු මෙහෙම නිර්ලෝභීව යමක් පරිත්‍යාග කරන කෙනෙක්ගේ මනස තුල සකස් වෙන සිතුවිලි රටාව මොන වගේ එකක්ද කියලා, ඔබ යමක් නිර්ලෝභීව දෙන්නනම් ඒ දේ පිලිබද තියෙන ආශාව, මේ දේ මට අනාගතයේදී අවශ්‍ය වෙයි, මට මේක නැති වුනොත් ප්‍රශ්ණයක් වෙයි, මෙහෙම දුන්නොත් මට අඩු වෙයි වගේ සිතුවිලි වලින් මිදිලා ඒ දේ පරිත්‍යාග කිරීමේ අදහසක් ඇති වෙන්න ඕනේ. එහෙම සිතෙන්නනම්, ඒ පුද්ගලයාගේ මනස තුල මට තියෙනවා, මට අවශ්‍ය වුනොත් ලබා ගන්න පුලුවන් හැකියාවක් තියෙනවා, මේ දේ දුන්නා කියලා මට අඩුපාඩුවක් වෙන්නේ නෑ කියන සිතුවිලි රටාව ඇති වෙන්න ඕනේ.
එහෙම බැලුවොත් මනෝවිද්‍යාත්මකවත්, ආකර්ෂණ නීතිය වැනි සංකල්ප වලට අනුකූලවත්, මානසික ශක්තීන් තුලින් යමක් ආකර්ෂණය කරගන්න, පුද්ගලයෙක් තුල තිබිය යුතු මානසික තත්වය වන්නෙත් මේ මට්ටමම තමයි. මනෝවිද්‍යාත්මකව බැලුවොත් තමන්ට යමක් පුලුවන්, තියෙනවා, හැකියි, වැනි සිතුවිලි ඇතිකර ගැනීම ප්‍රායෝගික ලෝකය තුලත් එවැනි තත්වයන් ඇති වීමට බලපානවා. ආකර්ෂණ නීතිය අනුවත්, තමන්ට නැති දෙයක් ගැන පවා දැනටමත් තියෙනවා යනුවෙන් සිතමින් කටයුතු කිරීම, එවැනි "සහිත" තත්වයන් තම ජීවිතයට ආකර්ෂණය වීමට බලපානු ලබනවා.
එහෙමනම් ඔබ තමන්ට ඇති හොදම, වටිනම යමක් නිර්ලෝභීව පරිත්‍යාග කලොත් එම සිතුවිලි රටාව අනුව අනිවාර්යයෙන්ම ඒ දේ තමන් වෙතට ආකර්ෂණය වීමේ තත්වයක් ඇතිවිය යුතුව තිබෙනවා.
ලොව අංක එකේ මූල්‍ය උපදේෂක වරයෙක් වන රොබට් කියොසාකි, ව්‍යාපාරිකයෙක් වන ග්‍රෑන්ට් කාර්ඩෝන්, සාර්ථකත්වය පිලිබද උපදේෂක වරයෙක් වන ටෝනි රොබින් වගේම ලෝකයේ අති සාර්ථක මිනිසුන් බොහෝමයක් මූල්‍යමය සාර්ථකත්වය ගැන කතා කිරීමේදී , එයට මුදල් පරිත්‍යාග කිරීම, සමාජයේ අභිවෘද්දිය වෙනුවෙන් වෙන්කිරීමක් පිලිබදව කතා කරන්න අමතක නොකරන්නේ අහේතුකව නොවිය යුතුයි!
Comments