top of page
Writer's pictureChathuska Amarasekara

යටි සිතේ විශ්මිත බලය

Updated: Aug 14, 2019


ඔබේ යටි සිත යනු මේ ලෝකයේ ඔබට ලැබී ඇති වටිනාම වස්තුවයයි කීවොත් එහි වරදක් නැත. ඔබේ යටි සිතෙන් ඔබට ගත හැකි ප්‍රයෝජන අසීමිතය, නමුත් බොහෝ දෙනෙක් යටි සිත පිලිබදව අසාතිබුනත් එහි ශක්තිය හරි හැටි බාවිතා කිරීමට නොදැනීම නිසා එම ශක්තිය මුලු ජීවිත කාලයම තමන් තුල රදාවගෙන කිසිත් නොකර ජීවත් වෙයි.


බුදුන් වහන්සේගේ දේෂණා අනුව බැලුවොත් මිනිසෙකු වී ඉපදීමම මහත් වාසනාවකි. සැබවින්ම එය එසේමය. මේ ලෝකයේ කිසිදු සත්වයෙකු සතු නොවන සුවිශේෂී ශක්තියක් වන මානසික ශක්තිය සහිත මිනිසෙකු වී ඉපදීමම, ඔබ කවුරු වුවත්, කොහේ ජීවත් වුවත් ඔබ වාසනාවන්තයෙකු බව පැවසීමට හැකි සාදකයකි. එසේ බැලුවොත් සැබවින්ම මේ ලෝකයේ සෑම මිනිසෙකුම උපතින්ම වාසනාවන්තයන්ය. නමුත් ඒ වාසනාවන්තයන්ගේන් 80ක්ම වගේ තමන්සතු මේ ශක්තීන් හදුනා නොගැනීම නිසා නිකරුනේ අසාර්ථක අසතුටු දායක ජීවිත ගත කිරීම කනගාටුවට කරුණකි. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබත් එයින් කෙනෙකු වන්නට පුලුවන්. එසේනම් මේ ලිපිය කියවීමෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරගැනීමේ පළමු පියවර තබන්නට මම ඔබට ආරාධනා කරමි.


අපගේ සිත , උඩු සිත හා යටි සිත ආකාරයෙන් කොටස් 2ට බෙදා දක්වන්න පුලුවන්. මෙයින් උඩු සිත අපගේ එදිනෙදා සිතුවිලි මෙහෙයවීමේ කාර්යය ඉටු කරයි. යම් යම් දේ පිලිබදව තාර්කිකව සිතමින් තීරණ ගනිමින් ක්‍රියාත්මක වෙයි. දකින අසන කියවන දෙයට සාපේක්ෂව සිතුවිලි මෙහෙයවමින් ක්‍රියාත්මක වෙයි.


මේ ආකාරයෙන් ඔබේ උඩු සිත ක්‍රියාත්මක වීමට බලපාන ප්‍රධාන මූලයන් ඇත්තේ ඔබේ යටි සිත තුලයි . ඔබේ උඩු සිත කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වුවත් එය ක්‍රියාත්මක වන්නේ යටි සිත තුල වන දත්ත වලට සාපේක්ෂවයි.


උදාහරනයක් ලෙස,


ඔබට ගෙදර තිබෙන කුනු ගොඩ දෙස බලා මෙය මහා වදයක් ලෙස සිතන්නත් , ඒ වගේම එය දෙස බලා මෙයින් කොම්පෝස්ට් පොහොර නිපදවන්න හෝ ස්වභාවික වායුන් නිපදවා ප්‍රයෝජනයක් ගන්න හෝ එය අලෙවි කර අමතර ආදායමක් ලබන්න පුලුවන් යයි සිතන්නත් ඔබට පුලුවන්. මේ ආකාරයෙන් සිතීමේ කාර්යයය කරන්නේ ඔබේ උඩු සිත. මේ ආකාර දෙකෙන් කුමන ආකාරයට ඔබේ උඩු සිත සිතනවාද යන්න තීරණය වෙන්නේ ඔබේ යටි සිතේ තිබෙන ආකල්පමය තත්වයන් මත.


ඔබ ඔබේ ජීවිතයේ කුමන ආකාරයේ සාර්ථකත්වයක් ලබා ගන්නවාද යන්න තීරණය වන්නේ ඔබ එම සාර්ථකත්වය ලගා කරගැනීමට අවශ්ය පරිදි ක්‍රියා කරනවාද යන්න මත. හරි ආකාරයෙන් ක්‍රියා කලොත් ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ඔබට ලැබෙනවා. ඔබට හරි ආකාරයෙන් ක්‍රියාත්මක වනවාද යන්න තීරණය වන්නේ ඔබේ උඩු සිත මගින් ගන්නා තීරණ මත. මේ ආකාරයෙන් උඩු සිත තීරණ ගැනීම වෙනුවෙන් කෙලෙස ක්‍රියාත්මක වනවාද යන්න තීරණය වන්නේ ඔබේ යටි සිත තුල තිබෙන ස්වභාවය මත.

මෙන්න මේ හේතුව නිසා ඔබට අවශ්‍ය සාර්ථකත්වය කුමක්ද යන්න හරියට වටහාගෙන එයට අවශ්‍ය පරිදි මූලිඛ ආකල්පමය තත්වයන් ගොඩනගාගෙන ඔබේ ‍යටිසිත ධනාත්මක ආකාරයකින් පවත්වාගෙන යාම ඉතා වැදගත්.


සාර්ථකත්වය අපේක්ෂා කරන බොහෝ දෙනෙක්ට තිබෙන සුලභ ගැටලුවක් නම් යම් ධනාතමක් චින්තන වැඩමුලුවන් හෝ, පොතක් හෝ වෙනත් යමක් පරිශීලනය කිරීමේන් පසු සිතට යම් ජවයක් දැනුනත් කාලයත් සමග නැවතත් පැරනි තත්වයටම පත්වීමයි. මෙයට හේතුවත් අපි කලින් කියූ ආකාරයට උඩු සිත හා යටි සිත අතර වන ක්‍රියාකාරීත්වයි. බොහෝ විට ඔබ ධනාත්මක යමක් පරිශීලයනය කිරීමේදී සිතුවන්නේ එයට සාපේක්ෂව ඔබේ උඩු සිත ක්‍රියාත්මක වීමයි. ඒ අනුව ඔබට තාවකාලික ධනාත්මක බවක් හා ජවයක් දැනීමට පටන් ගනී.


නමුත් ඔබේ උඩු සිත ධනාත්මක වූවාට ඔබේ යටි සිත තුල තිබෙන මූලයන් , ආකල්පමය තත්වයන් ධනාත්මක නොවන බැවින් කාලයත් සමග ඔබේ උඩු සිත තුල වන තාවකාලික ධනාත්මක බව අඩුවී ඍනාත්මක තත්වයන් නැවත නැවතත් ඇති වීමට පටන් ගනී. මේ නිසා ඔබට සාර්ථක වෙන්න අවශ්යනම් ඔබ තාවකාලිකව උඩු සිත ධනාත්මක කරගැනීම කරනවා මෙන්ම ඔබේ යටි සිත ධනාත්මක කිරීමේ ක්‍රියාවලියකද නිරත වීම අත්‍යවශ්‍ය වේ.


ඔබේ යටි සිත ධනාත්මකනම් නිරායාසයෙන්ම ඔබේ උඩු සිත ගන්නා තීරණ ධනාත්මක වීමට පටන් ගනී. එමෙන්ම ඒ අනුව ඔබ ක්‍රියාකරන ආකාරයත් , ඔබේ චර්යාවනුත් ධනාත්මක වීමට පටන් ගනී, ඒ අනුව නියත වශයෙන්ම ඔබට ලැබෙන ප්‍රතිඵ්ලත් ධනාත්මක වේ!


සැබවින්ම සාර්තක වීම යන්න අපහසු දෙයක් නොවේ. සාර්ථක වීමට ඕනෑ තරම් අවස්ථාවනුත් මේ ලෝකයේ ඕනෑ තරම් ඇත. නමුත් ඍණාත්මක මනසකට එම අවස්ථාවන් ග්‍රහනය කරගත නොහැක. ග්‍රහනය කරගත්තත් සැකය බිය වැනි දේ ඇති වීම නිසා ක්‍රියාත්මක වීමට අවශ්‍ය තීරණ ගැනීම සිදු කිරීම ඍණාත්මක මනසක් ඇත්තාට හරි ආකාරයෙන් කල නොහැක.


මේ නිසා ඍණාත්මක මනසක් ඇත්තාට සාර්ථක වීමට දැඩි ආයාසයක් , වෙහෙසක් දැරීමට සිදු වේ. නමුත් ධනාත්මක මනසක් ඇත්තාට එසේ නොවෙයි, කුමන බාදක පැමිනියත් නිරායාසයෙන්ම ඔහු තුල ධනාත්මක සිතුවිලි ඇති වේ, ඒ අනුව ධනාත්මක තීරණ ගැනීම සිදු වේ. එමෙන්ම නිරායාසයෙන්ම ඔවුන් ධනාත්මකව ක්‍රියාත්මක වේ. ඔවුන් සාර්ථකත්වය වෙත නිරායාසයෙන්ම ගමන් කරයි.


එමෙන්ම අපේ යටි සිතට චිත්ත තරංග නිකුත් කිරීමේ හැකියාවක් ඇත. ධනාත්මක චිත්ත තරංග ඍණාත්මක චිත්ත තරංග වලට වඩා සාපේක්ෂව බලවත්ය. මේ නිසා ඔබේ යටි සිතේ තිබෙන ස්වභාවය වෙනස් වීමත් සමග ඔබේ ධනාත්ම චිත්ත තරංග වල වැඩිවීමක්ද සිදුවේ. මෙය අනෙක් පුද්ගලයන්ගේ චිත්ත තරංග හා විශ්වයේ තිබෙන අනෙකුත් තරංග සමග ක්‍රියාත්මක වෙමින් ඔබට අවශ්ය සාර්ථකත්වය ඔබ වෙතට ආකර්ෂණය කිරීමට කටයුතු කරයි. මෙය ආකර්ෂණ නීතිය ලෙස හදුන්වයි.


මෙය ක්‍රියාත්මක වීමත් සමග ඔබට මෙතෙක් සාර්ථකවීමට තිබූ බාදාවන් ඉවත්වීම සිදුවේ, ඔබේ සාර්ථකත්වයට බාදාවක් වන පුද්ගලයන් සිටීනම් ඔවුන් ඔබෙන් ඉවත්වීම හෝ ඔවුන්ගේ සිතුවිලි වෙනස් වීම තුලින් ඔබට වාසි දායක තත්වයන් ඇතිවීම සිදුවීමට පටන් ගනී. එමෙන්ම ඔබ උදවු වන පුද්ගලයන් ඔබ වෙතට ආකර්ෂනය වීමට පටන් ගනී.


එමෙන්ම ඔබේ සෞඛ්‍ය තත්වය ඇතුලු සියලු සාදක වෙනස් වෙමින් ඔබව සාර්ථක වීමට පටන් ගනී. එමෙන්ම චිත්ත තරංග අනුව ඔබ අවට තිබෙන අජීවී වස්තූන්ගේ පවා වෙනසක් වන බව විද්‍යාත්මකව පවා ඔප්පු වී ඇත. මේ නිසා ඔබේ ජීවිතයේ සියලුම දේවල් පාහේ ඔබේ යටි සිතේ වෙනසත් සමග වෙනස් වීමට පටන් ගනී.


යටි සිත වෙනස් කරගන්නේ කොහොමද?


බොහෝ දෙනෙකු සිතන්නේ යටි සිත වෙනස් කිරීමට ධනාත්මක දේවල් පරිහරනය කිරීමේන් කල හැකි බවය. නමුත් ඒ තුලින් බොහෝ විට සිදුවන්නේ උඩු සිත තාවකාලික ධනාත්මක වීම තුලින් තාවකාලික වෙනසක් ඇතිවීමයි. යටි සිත වෙනස් කිරීමටනම් ඔබට එතැනින් එහාට ගොස් ඔබේ යටි සිත ගොඩනැගීමේ අභ්‍යාස හරහා ඔබේ යටි සිත ප්‍රථිනිර්මානය කිරීමක් කිරීම කල යුතු වේ.


මේ සදහා ඔබේ ජීවිතයේ අරමුණු හරි ආකාරයෙන් හදුනා ගනිමින්, ඒ අනුව ඔබේ යටි සිත තුල ධනාත්මක ආකල්ප හා ස්වභාවයන් වර්ධනය වන පරිදි සිතුවිලි රටාවන් හා චර්යාත්මක රටාවන් ඇතිකිරීම වඩාත් ප්‍රායෝගික හා ඵලදායී ක්‍රමයකි.


සටහන : මානව හැකියා හා පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර

 

ඔබේ යටිසිතේ ශක්තිය ප්‍රායෝගිකව ඔබේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා භාවිතා කරන ආකාරය ගැන ඉගෙන ගන්න අසිරිමත් යටිසිත - ප්‍රායෝගික උපදෙස් පොත PDF eBook එකක් ආකාරයෙන් පහතින් Download කර ගන්න.







1,444 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page